Thursday, August 4, 2016

සබඳ අපි කඳු නොවෙමු- උනුන් පරයා නැඟෙන..

‘මාක්ස්‘ කියනවා තවත් ජාතියක් යටපත් කරන්න සිතන කිසිඳු ජාතියකට නිදහස් ජාතියක් විදිහට නැඟී සිටින්න බැහැ කියලා. ඒක ඇත්තක්. අපිට අපේ නිදහස ගැන හිතන්න නම් අපි ඉදිරියේ සිටින අනෙකාගේ නිදහස අපි අතින් උල්ලංඝණය නොවිය යුතුයි. වසර ගණනාවක් පුරා බහුතරවාදය හා සුළුතරවාදය තුල මිරිකෙමින් අපි එකිනෙකාගේ නිදහස අහිමිකර ගත්තා. සැබෑ ගැටලුව කුමක්ද? ගැටළුවට වගකිවයුත්තේ කවුද? යන්න පිලිබඳ නිනව්වක් නොමැතිව දහස් ගණනින් එකිනෙකා මරාගත්තා.මැරුණේ අපේ පංතියේ අපේම උන්.නමුත් අපේ පිට ප්‍රශ්න පටවා අපි අපිවම මරගැනීමට සැලැස්වූ උන් එකිනෙකා හා සිනාමුසුව අතට අත දී සතුටු සාමීචියේ යෙදුණා. ගැටලුව සිංහල හෝ දෙමළ භාෂා තුළ නැත. ගැටලුව සිංහල හෝ දෙමළ ජනවර්ග තුළ නැත. ගැටලුව ඇත්තේ පංතිය තුලයි. පීඩකයා හා පීඩිතයා තුළයි.පීඩකයන්ට ජාතියේ, ආගමේ හෝ වර්ණයේ වෙනසක් නැතුවා සේම පීඩිතයාටද ජාතියේ, ආගමේ හෝ වර්ණයේ් වෙනසක් නැත. මේ සැබෑ ගැටීම පංති දෘෂ්ඨිකෝණයෙන් නිවැරදිව හඳුනාගන්නා තුරු අර්බුදයට විසඳුමක් නොලැබෙනු ඇත.
උතුරේ දීපචෙලවන් ප්‍රදීපන් වගේම දකුණේ දර්ශන මෙන්දිස් මේ ගැටළුව නිවැරදිව හඳුනගත්තා. දර්ශන තමන්ගේ ‘කඳුලුමිටියාවත‘ (1992) කෘතියේ. “උතුරින් - දකුණට“ කියන පද්‍ය පංතිය.ඊට හොඳ උදාහරණයක්. ඔහු මේ පැදි පෙළට අපූරු අනු මාතෘකාවක් යොදනවා. ඒ තමයි ‘පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට‘ යන්න. දර්ශනගේ මේ කාව්‍යය ටිකක් විතර කපලා කොටලා ගුණදාස කපුගේ ශූරීන් පසුකාලීනව ගායනා කරනවා ගීතයක් හැටියට. දර්ශන වරෙක ප්‍රකාශ කරනවා “මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි“ කියලා.(
http://www.boondi.lk/article.php?ArtID=985)
මේ පහත දැක්වෙන්නේ දර්ශන මෙන්දිස් ගේ ‘කඳුලු මිටියාවත‘ කාව්‍ය සංග්‍රහයේ සඳහන් වූ ‘උතුරින් දකුණට‘ පද්‍යයේ සම්පූර්ණ වචන මාලාවයි.

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන
පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින



මේ තරම් සියුමැලිද කළු ගල්

රජී වසන්නත ලියපු මේ ගීතය සංගීතවත් කරන්නේ කිහිපවතාවක්ම රාජ්‍ය සම්මාන දිනාගත් රජරටින් බිහිවුණු දක්ෂ සංගීතවේදියෙක්. ඔහු දර්ශන රුවන් දිසානායක. 
රජී ගේ හා දර්ශනගේ සුසංයෝගය බිහිදොරින් එළිබසින්නේ ප්‍රවීණ සංගීතවේදී සුනිල් එදිරිසිංහයන්ගේ හඬමුසුවත් සමඟයි.

..................................................


මේ තරම් සියුමැලිද කළු ගල්

හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්


දෑස් දුන් මිනිසා සොයා //


කලා වැව ලඟ ඉලුක් හෙවනක


මැටි පිලක පැදුරක් එලා


රිදුම් පිරිමදිමින් බලයි ඔහු


මැරෙන ඉපදෙන රළ දිහා


ඉසුරුමුණියේ නුඹ තැනූ


පෙම්බරිය කොතැනද කියා


මා ඇසූ විට හිනැහුණා ඔහු


තවම තනිකඩයැයි කියා //


........................................................

රජී හැමවිටම තොරාගන්නේ පීඩයෙන් මිරිකෙන සමාජයේ සැඟවුනූ තේමාපාඨ. පහුගිය දවසක ශිෂ්‍ය සංගමය සංවිධානය කරපු වැඩසටහනකට නීති පීඨයට ආපු ‘රජී ‘ කිව්වේ, තමන්ගේ ජීවත අත්දැකීම,තමන්ගේ පංතිය තමන්ගේ සෑම නිර්මාණයක් තුළම ගැබ්වෙලා තියෙනවා කියලයි. මේ ගීතයටත් ඔහු ප්‍රස්තුත කරගෙන තියෙන්නේ ගල්වඩුවෙක්. බුදුන්ටත් දෑස් දුන් මේ ගල්වඩුවා තවමත් ඉලුක් ගෙපැලක තනිකමින් සුසුම්ලන්නේ හුදෙකලාවෙන්. ඇත්තටම මේ ගල්වඩුවා ගැන දන්නේ කවුද..? වචනයෙන් වචනය විග්‍රහ කරනවට වඩා සමස්ත ගීතයේම අරමුණ අපි තේරුම්ගත යුතුයි. අපි පොඩ්ඩක් හිතමු. රුවන්වැලි සෑය හැදුවේ කවුද? පරාක්‍රම සමුද්‍රය හැදුවේ කවුද? කියලා කවුරුහරි අපෙන් ඇහුවොත් අපි කියන්නේ යුගයන් දෙකකදී මේ රටේ රජකරපු රජවරු දෙන්නෙක්ගේ නම්. තවත් වෙලාවකදී කවුරු හරි ඇහුවොත් ගල්ඔය කළේ කවුද? මහවැලිය කළේ කවුද? අපිට මතක් වෙන්නේ නිදහසින් පස්සේ අපේ රටේ බිහිවෙච්ච දේශපාලඥයෝ දෙන්නෙක්ගේ නම්. නමුත් කවුරුවත් හරියටම දන්නේ නෑ, මේවගේ නිර්මාණ කරන්න දායක වුණ කම්කරුවෙකුගේ එක නමක්වත්. අඩුමතරමේ ඔවුන් ගැන මතකෙටවත් එන්නේ නැති තරමි. නමුත් පාලකයන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න කොයිතරම් නම් කම්කරුවෝ පිරිසක් තමන්ගේ දහඩිය, ලේ වගුරන්න ඇතිද? නමුත් ඔවුන්ට සාධාරණයක් ඉටුවුණාද? අඥාත නිර්මාණකරුවන් දහස් ගණනක් තමන්ගේ ශ්‍රමය අඩු ලංසුවකට මිල කරන්න ඇති. නමුත් ඉතිහාසය රඳවාගන්නේ පාලකයන්ගේ නම් පමණයි. ‘තක්ෂිලා ස්වර්ණමාලි‘ ලියපු ‘ටකරං සහ වඩිම්බු‘ කියන කෙටිකතා සංග්‍රහයේ එක් කෙටිකතාවක් තමයි ‘ඉස්කෝලේ මහත්තයා නටබුන් වලට ඇහෙන්න කෑ ගැහුවා‘. ඒ කෙටිකතාවේ තැනක මෙහෙම ලියල තියෙනවා “ රජාලා හදපු කෙංගෙඩියක් නෑ. ඕව හැදුවේ අපේ උං. හදාපු උං ගේ අත් කැපුවා. ඇස් පොට්ට කළා. එව්වංගේ නම් ඉතිහාසේ ලියෝගෙන අපේ උං මැරුවා. යකෝ නාහෙන් බේරෙන වතුර බිංදුව මාපටැඟිල්ලට වැටෙන්න පතාක පිළිම හැදුවේ තොපි නෙමෙයි අපි“ ‘රජී‘ එතරම් ආවේගශීලී නොවුනත් තමන්ගේ ගේයපද රචනයට අනුභූතිය කරගන්නේ ‘ස්වර්ණමාලි‘ ලියපු කෙටිකතාවේ අනුභූතියමයි. ‘ටෙනිසන් පෙරේරා‘ විසින් රචිත ‘දැතිරෝදෙන් උපන් බුදුන්‘ ග්‍රන්ථයට පාදක වන්නේ කාර්මික සමාජ විප්ලවයක්. නමුත් රජය විසින් මේ පොත තහනමට ලක්කරන්නේ ඉන් බුදුන්වහන්සේට අපහාසයක් වුණු බව දක්වමින්. නමුත් ග්‍රන්ථය තහනම් කිරීම පසුපස තිබුණේ සැබෑ දේශපාලනික උවමනාවක්. ‘රජී ‘ ලියපු මේ ගීතය තුළත් බුදුන්ට දෑස් දීමට ගල්වඩුවා සමත්වීම තුළ පෙන්වන්නේ කම්කරුවා බුදුන්ටත් වඩා උසස් යැයි පැවසීමද? යන්න යමෙකුට ප්‍රශ්න කළ හැකිය. ඒ ප්‍රශ්නයේ වරදක් නැ. බෞද්ධ සංස්කෘතිය තුළ උත්තම පෞර්ෂ්‍යත්වය බුදුන්වහන්සේ වන විට ඊටත් එහා ගිය පෞර්ෂ්‍යත්වයක් කම්කරුවාට ආරෝපණය කිරීමට ‘රජී‘ උත්සහ කරන්න ඇති. රජී මෙතන ගල්වඩුවෙකුට සංක්ෂිප්ත කරන්නේ සමස්ත වැඩකරන පංතියේ ජනතාව වන බව මගේ අදහසයි. ඒ අනුව වැඩකරන පංතිය අසහාය ලෝකෝත්තර විමුක්තිදායකයකු හා සම කිරීම තුළ හෝ ඉන් එහා ගිය ගෞරවයක් ලබා දීම තුළ අතීතයේ සිටම කම්කරුවාට සිදුවුණු අසාධාරණය අස්වැසීමට රචකයා යම් උත්සහයක් දරා ඇතැයි යන්න සිතිය හැකිය.


Wednesday, August 3, 2016

බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ...

ගීතයට ප්‍රසතුත වී ඇති තේමාව පිළිබඳ මාගේ අදහස නම්, මෙම ගීතය හඳගමගේ “ඇගේ ඇස අග“ (Let her Cry) චිත්‍රපටයේ තේමාපාඨයට යම්තාක් දුරකට සමාන්තර වන බවයි.
මෙය ‘හන්තාන අඩවිය‘ පාදක කරගත් ගීතයකි. හන්තාව අඩවිය කියූ සැණින් මතකයට නැඟෙන්නේ අන් කිසිවක් නොව ‘සරසවි භූමියක්‘ බව මා අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එනයින් මෙම ගීතය සරසවිය පාදක කරගත් ප්‍රේමණීය සිදුවීමක් බව වාච්‍යාර්ථ මතුපිට තුළ ඉතා හොඳින් විද්‍යාමාන වේ.
නමුත් මෙය හුදෙක් සරසවි මානව මානවිකාවකගේ කුළුඳුල් ප්‍රේමයකට ලඝු කිරීමට මම මැලි වෙමි. මෙය එක්තරා අසම්ත පෙමක කතාවක් ය යන්න මගේ අදහසයි. ප්‍රේමය අසම්ත විය නොහැක. නමුත් ප්‍රේමය සම්මත හෝ අසම්මත යැයි හංවඩුගසන්නේ සදාචාරය නැමැති පිරුවට තුළින් නිරුවත වසාගත් සමාජයය විසිනි. ඒ සමාජීය දෘෂ්ඨිකෝණය අනුව සරසවි ආචාර්යවරයකු හා ශිෂ්‍යාවක අතර ඇතිවන ප්‍රේමය සම්මත එකක් නොවනු ඇත.
.
“බලා වැළපෙමි 
නෙලාගනු බැරි 
හන්තාන සිහිනේ..“
ඇයට තම ප්‍රේමය කිසිඳු කලෙක නෙලාගත නොහැක. මන්ද, එය අසම්මත යැයි සමාජය ඇයට ගරහනු ඇත. නෙලා ගනු නොහෙන පෙමක් හෙයින් ඇය රහසේ ම වැළපෙනුයේ එබැවිනි.
.
“දරා නෙත් අග
දොවා සිත් මල 
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ“
සංසාරය නම් දීර්ඝ වූ ගමන තුළ කවදා හෝ හමුවූ හුරුව ඇතිව, මතු සසර තුළ නැවත හමුවීමේ බලාපොරොත්තුව ඇතිව එතෙක් ඉවසා දරා සිටින ලෙස ඇයට ඔහු ආරාධනා කරයි.
.
“වැහි පබළු යට
රඟ මඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට“
ඇගේ ඇත්තේ අවිහිංසක ආශාවකි. සරසවි රඟ මඬල මතුයෙහි ඔහුගේ දෑතෙහි තුරුළුව සැතැපීමට ඇය ආශා කරයි.
.
“බිසෝ හැර ගිය 
ලසෝ රඟහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ“
ඔහුගේ බිිරිඳ ඔහු හැරගොස් ය. එබැවින් ඔහුගේ හදවත නම් රඟහල දැන් ඇත්තේ අඳුරේය.එය හුදු අන්කාධරයක් පමණක් නොව, ‘අමාවක අඳුරකි. මේ රූපකයෙන් රචකයා ගීතයේ දැක්වෙන පුර්ෂයා තුළ පවතින භාවාත්මක හුදෙකලාව විග්‍රහ කිරීමට සියුම් ලෙස උත්සහ ගෙන ඇත. ඒ හුදෙකලාව මැකීමට පැමිණී අනාරාධිත අමුත්තිය වෙත ඔහු දැන් බැඳී ඇත. ඔහු ඇයට නොයන ලෙස ආයාචනය කරයි.
.
“වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
ඇයට ප්‍රකාශිතවම සිය ප්‍රේමය හැඟවිය නොහැක. එබැවින් ඇය ඔහුට දුරින් හිඳ ආදරය කරයි. ස්වකීය තරු ඇඳුරිඳුගේ ඇමතීම ඇයට පෙම් ගී වැනිය.
.
“සොඳුරු ඒ සඳ දියේ එන්නම් 
හිඳිනු මැන සොඳුරේ 
හන්තාන අරණෙ“
තමා එනතුරු හන්තාන අරණෙහි හිඳින ලෙස ඔහු ඇයට ආරාධනා කරයි. ඒ ආරධනය වඩා ප්‍රේමණිය වන්නේ සෞම්‍ය එලියක් සේ ඇය වෙත පැමිණෙන වග දැක්වීම තුළිනි.
.
ජානක සිරිවර්ධන විසින් පදරචිත මෙම ගීතය ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේවයන් හා නව පරපුරේ දකෂ ගායිකාවක වන උමාරියා සිංහවංශ විසිනි. මෙම හඬ සුසංයෝගයද ගීතයේ යටි අර්ථයට මනා සාධාරණයක් ඉටුකර ඇතැයි යන්න මාගේ අදහසි. මන්ද පරිණත පිරිමි හඬක් සහ යොවුන් කාන්තා හඬක් ගීතයේ පදරුත් සමඟ හොඳින් ගැලපෙන බැවිනි.


Thursday, February 4, 2016

නිදහසේ හිතමු...

හැම පෙබරවාදි 04දාම අපි නිදහස් දිනය මහ උජාරුවෙන් සමරනවා. ටිකක් හිතමු.48‘ අපි සුද්දගෙන් නිදහස ලබාගන්න කොට, සුද්දා අපිට දීලා ගිය දේවල් ටිකක් තියෙනවා. තේ, රබර්, පාරවල්, කෝච්චිය, ගුවන්තොටුපල, වරාය, පක්ෂ දේශපාලනය,ලිබරල් ආර්ථික රටාව..... ඒ වගේම සුද්දා අපිට නැතිකරලා ගිය දේවල් ගොඩක් තියෙනවා ස්වයං පෝෂිත ආර්ථිකය, කෘෂිකර්මාන්තය,සංස්කෘතිය, ජාතියක් විදිහට නැගිටින්නට තිබුණු ශක්තිය.... සුද්දගෙන් අපට ලැබුනු දේට වඩා අපෙන් උදුරගත්ත දේ බර වැඩියි.
කොහොමහරි, නිදහස ගන්නකොට ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් අපිට තිබුණා. අපේ ආර්ථිකය දෙවැනි උනේ ජපානෙට විතරයි. ඒ වෙනකොට අපි තමයි දකුණු ආසියාවේ ආර්ථික බලවතා. ඒ කාලේ ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළේ මේ කොනේ ඉඳං මලබාර් වෙරළේ එහා කොන වෙනකන් හැම වරායකින්ම අවුරුද්දකට උපයාගත්ත මුළු ආදායමට වඩා අපේ කොළඹ වරායෙන් එක මාසෙක උපයපු ආදායම වැඩියි. හිතාගනන පුළුවන්ද..? අපි එදා හිටපු තත්ත්වය. අද අපි ඉන්නේ කොතනද..?
කවුරුහරි ලෝකේ මැව්ව නම් ඒ මවපු කෙනා ලංකාව මවලා තියෙන්නේ හරි අපූරු තැනක. ලංකාවේ පස හරිම සාරවත්. අරිය ජලවහන පද්ධතියක් තියෙන සරුසාර රටක්. වටේම මුහුද. ලෝකේ බටහිර ඉඳං නැගනහිර වෙනකං යා කරන මුහුදු මාර්ග වලට වැදගත් තිප්පොලක්. ඉතිං මේ පිහිටීම රටක් හැටියට අපිට බොහෝමවැදගත්. නමුත් අපි ඒ පිහිටීමෙන් අපේ රටේ සම්පත් වලින් හරියට වැඩක් අරන් තියෙනවද..? නෑ..! ඒක තමයි ඇත්ත.
අපේ දෙමව්පියෝ උපදිනකොටත් අපේ රට දියුණුවෙමින් තිබුණේ. තාමත් අපේ රට දියුණු වෙනගමන් තමයි තියෙන්නේ.දියුණු වෙනවා; දියුණු වෙනවා; දියුණු වෙනවා ඉවරයක් නෑ. කවදද අපි ඇත්ටම දියුණු වෙන්නේ..? අපි නිදහස ගන්නකොට සිංගප්පූරුව කියලා රටක් තිබුණේ නෑ. නමුත් අද ඒක ලෝකේ ආයෝජනය සඳහා සුදුසු අංක 1 වාණිජ නගරය. 1959 දී ලංකාවට ආපු සිංගප්පූරුවේ පළමුඅගමැති වුණු ලී ක්වාන් යූ මහත්තයා එහේ ගිහින් කිවුවලු “මම මේ රට කවදා හරි කොළඹ නගරය වගේ කරනවා“ කියලා. 1978 එහේ ගිහින් ආපු ජේ.ආර් ජයවර්ධන මහත්තයා කිවුවලු “මම මේ රට කවදාහරි සිංගප්පූරුවක් කරනවා“ කියලා. ලී ක්වාන් යූ මහත්තයා තමන්ගේ ස්වංලිඛිත චරිතාපදානයේ සඳහන්කරලා තියෙනවා “අපි උදුරගත්තේ ලංකාවේ සංවර්ධනය“ කියලා. ඉතිං අපේ සංවර්ධනය අපිට අහිමි වෙච්ච එකට වගකියන්න ඕනේ කවුද..? අපේ රටේ හිටපු පාලකයන්ගේඅදූරදර්ශී තීරණ තමයි එදා ඉඳං අද වෙනකන් අපේ රට එකතැන පල්වෙන්න හේතු වෙලා තියෙන්නේ.රට ගැන හිතන්නේ නැති උනාට බඩ ගැන හිතන මිනිස්සු බහුතරයක් ඉන්න රටක පාලකයන්නට තමන්ගේ හිතුමනාපෙට තමන්ට උවමනා විදිහට රට ගෙනියන්න ඕනෑතරම් ඉඩ තියෙනවා. කාලෙකදි ඇට අට, තවත් කාලෙකදි 3.50ට පාන්, මේ වගේ පුහු පොරොන්දු වලට රැවටිලා තමයි අපේ මිනිස්සු පාලකයන් පත් කරගත්තේ.
නිදහස දිනාගෙන අවුරුදු 10ක් ගතවෙන්න කලින් සිංහල, දෙමළ භාෂා ගැටලුව ආවා. ඒක ඕපපාතිකව පහළ උන දෙයක්නෙමෙයි. සිංහල, දෙමළ නායකයන්ගේ අමන වැඩ හින්දා ඇතිවුණ දෙයක්. කාලකණ්නි බඩගොස්තරවාදී දේශපාලකයන්ගේ උවමනා එපාකම් පිරිමහන්න ගිහින් අනිතිමේ දී දහස්ගණනනක් එකම රටේ මිනිස්සු දෙපිලකට බෙදිලා මිනීමරාගත්තා. ඊටපස්සේ වෙනම රටක් ඕනේ කියලා අවුරදු 30ක් යුද්ද කළා. අන්තිමේ යුද්දේ ඉවර උනාට දිනපු කෙනෙක් නෑ. තවමත් ඒ තුවාලේ පැසවනවා. හොඳකරගන්න උත්සහ කරනවා වෙනුවට තව තවත් එ්ක පාරව ගන්නවා.
ඔය අතරේ 71‘ දීත් 89‘ දීත් ලංකාවේ තරුණ අරගල 2ක් ඇතිවුණා. කොහොමහරි ඒ අරගල යටපත් කරන්න පාලකයන්ට පුළුවන් උනා. නමුත් එදා ඒ අරගල ඇති උනේ ඇයි..? ඒ අරගල කිරීමෙන් බලාපොරොත්තු උනේ මොනවද..? කියලා කවුරුවත් කාගෙන්වත් ඇහුවේ නෑ. ලක්ෂයකට වඩා තරුණ ජීවිත මේ අරගල දෙකේදිම රටට නැති උනා. එදා ඒ අරගල යටපත් කළා ඇරෙන්න ඒවා ඇතිවුනු මූලබීජයන් මෙනවද කියන්න කවුරුත් අඳුනගත්තේ නෑ.
අපේ රටේ සාක්ෂරතාවය 98%යි. ඒක දකුණු ආසියාවේ ඉහළම අගය. සේවා නියුක්තියත් දකුණු ආසියාවේ අනිත් රටවලට වඩා ඉහළයි. නමුත් අපේ එක පුද්ගල ආදායම, ආර්ථික වර්ධන වේගය, දළ ජාතික නිෂ්පාදිතය දකුණුආසියාවේ ගොඩක් රටවලට වඩා අඩුයි. ඒ ඇයි..? නිදහස ලබාගන්න කොට දකුණු ආසියාවේ ශක්තිමත්ම ආරථිකය තිබුන රට දැන් දුර්වල වෙන්න හේතු මොනවාද..? අංක එක, මේ දේශපාලන රටාව. එදාවේල හම්බකරගන්න උත්සහකරන ජනතාවකුත් ඒකටම හරියන බඩගොස්තරවාදී දේශපාලන නායකයන් පිරිසකුත් ඉන්න අපේ රටේ කාලෙන් කාලෙට එන ඡන්ද නිකන් මූණුමාරු කරන සෙල්ලමක් විතරයි. එක එක ආණ්ඩුවල බොරු සෝබන වැඩ ඇරෙන්න පොදු දේශපාලන ආකෘතියක් කවුරුත්ම අනුගමනය කරන්නේ නෑ. හොඳට බැලුවොත් නිදහසෙන් පස්සේ අපේ රටේ පාලනය මාරු වෙලා තියෙන්නේ පවුල් කීපයක් අතර. 72‘ ත් 78‘ ත් රටේ මූලික නීතිය ඉන්න පාලකයන් තමන්ට ඕනේ විදහට වෙනස් කරගත්තා ඇරෙන්න රටට ඕනේ විදිහට යමක් කළාද කියන එක සැකයි. මේ ගඳගහන දේශපාලන රටාව වෙනස් නොකර කිසිදෙයක් කරන්න බෑ.
දෙවැනි කාරණය තමයි මේ රටේ නිශ්චිත ආර්ථික මූලෝපායක් නැති එක. 70‘ ආනයන ආදේශක සංවෘත අර්ථිකයක් අත්හදා බැලුවා.අසාර්ථකයි. 78‘ අපනයන අභිමුඛ විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. පේන්න තරම් සාධනීය බවක් නෑ. අපේ රටේ විදේශ විනිමය උපයන මූලික ආකාර 3 තමයි ඇඟළුම් කර්මාන්තය, විදේශ සේවා නියුක්තිය හා තේ. සේවා නියුක්තියෙන් වැඩි කොටසක් නුපුහුණු අය. නමුත් අද වන විට අපිට වඩා ලාභදායි ආයෝජන පරිසරයක් වියට්නාමය, බංගලාදේශය, ඉන්දියාව වගේ රටවල පවතිනවා. ඒ නිසා අපේ රටට ආපු ආයෝජකයන් බුරුතුපිටින් තමන්ගේ ආයෝජන ඒ රටවලට ගෙනියනවා. අපේ පවතින ආර්ථික රටාව තිරසාර නෑ. නවෝත්පාදනය සිදුවෙන්නේම නැතිතරම්. උගත් ඉහළ නිපුණතාවයක් ඇති දේශිය වෘත්තියවේදීන් රටහැර යනවා. බුද්ධිගලනය නවත්වන්න විකල්පයක් නෑ. ඒ වගේම අපේ රටේ ආදායම් බෙදීයාමේ ලොකු ගැටළුවක් තියෙනවා. රටේ ජනගහනයෙන් 70%ට බෙදෙන්නේ ජාතික ආදායමෙන් 30%ක් විතරයි. මේ යන පීල්ල අමාරුවෙන් හරි වෙනස් කලේ නැති උනොත් අපේ ආර්ථිකය යන්නේ අගාධයට. මේ ගැටළුවලට විසඳුමක් හොයන්නේ නැතුව ආර්ථිකය හදන්න බෑ.එක එක කාලෙට එක එක මොඩල් වලට රට ගෙනියන්න හැදුවා මිසක් අපිට ගැලපෙනඅපේ ආකෘතියක් කවුරුත් අත්හදාබැලුවේ නෑ. එහෙම කරන්න උවමනාවකුත් නෑ.
තුන්වෙනි සාධකය තමයි පවතින සමාජ රටාව. අපේ රටේ තියෙන්නේ අනුකරණ සමාජ රටාවක්. ස්වාධින චින්තනයකට හුරුවෙලා නෑ. එක එක රැලි පස්සේ එක එක කාල වලදී ගහගෙන යනවා. “අපිට මෙකෝ...“ “අපිට වැඩක් නෑ ඕවා...“ “ඕක කරනන් පුළුවන් කාටද..?“ මේ වගේ පසුගාමී අදහස්වල එල්ලිලා ඉන්න පරාධීන චින්තනයක් තමයි මේ සමාජ රටාව තුළ අපේ මිනිස්සුන්ට තියෙන්නේ. නමුත් හැම තැනම තරඟය. ඉගෙනීම, බෙහෙත්-හේත්, ඇඳුම්, රස්සාව මේ හැදෙයක්ම කරන්නේ තරඟෙට. මේ තරඟයට මුලික හේතුව පවතින නව ලිබරල් ආර්ථික රටාව. ආත්මාරථකාමී, සාරධර්ම නැති, සංස්කෘතියක් නොහඳුනන රොබෝවරු පිරිසක් තමයි මේ සමාජ රටාව තුල ජීවත් වෙන්නේ.
ඇත්තටම අපි තවමත් නිදහස් නෑ... මේ සමාජ, දේශපාලන, ආර්ථික රටාව තුල අපි අපි විසින්ම විලංගු දමාගත්ත වහල්ලු විතරයි. ඒ විලංගු බිඳින්න පුළුවන් අපිටම විතරක් බව අපි තාම දන්නේ නෑ. එහෙම හිතන්න තරම් ස්වාධීන චින්තනයක් අපිට නෑ. අපි අතීතකාමයෙන් ඇස් අන්ධකරගෙන නිසා අනාගතයට යන පාර පේන්නේ නෑ. අපි අපේ අත්වල තියෙන විලංගු පාට කරගෙන මේ පවතින රටාවට බැණ බැණ ඔහේ ඉන්නවා විතරයි. නමුත් ඒක වෙනස් කරනන් උත්සහ කරන්නේ නෑ.

නිදහසේ හිතන්න පුරුදුවුන දාට නිදහස උදාවේවි..!

Thursday, December 31, 2015

සටන ද කලාවකි...


පෙරදිග සංස්කෘතියට අනුව නම් හැම දෙයක්ම කලාවක්. ගොවිතැන, වාරි කර්මාන්තය, ඉදිකිරීම්, භාෂාව, ඇඳුම් පැළඳුම්, සංගීතය, නැටුම්, චිත්‍ර, සිරිත් විරිත් මේ හැම සංස්කෘතිකාංගයක්ම ප්‍රාචීණ මිනිහට කලාවක්. ඒ වගේම සටන් කිරීමත් කලාවක් විදිහට ප්‍රගුණ කරන්න පෙරදිග ජනයා පුරුදු වෙලා හිටියා. මේ නිසා හැම අතින්ම පාහේ අතීතයේ පෙරදිග; බටහිරට වඩා හුඟක් ඉදිරියෙන් හිටියා.

මේ කතා කරන්න යන්නෙත් කලාවක් පිළිබඳව. සරලව පැහැදිලි කළොත් සටන් කලාව (Martial Art) පිළිබඳව.  බටහිරට ඇත්තේ සටන් කලා කීපයක් පමණයි. මුෂ්ඨි හරඹ(Boxing), පා මුෂ්ඨි හරඹ (Kick Boxing) මල්ලව පොර (Wrestling) ,ප්‍රංශයේ ‘සවාට්‘(Savate) හා ‘ෆෙන්සින්‘(fencing) රුසියානු සම්භවයක් ඇති ‘සම්බෝ‘ (Sambo) නම් සටන් කලාව මේ ලියුම්කරු දන්නා අපරදිග සටන් කලා අතරින් කීපයක්. 
නමුත් පෙරදිග රටවල උසස් තාක්ෂණයෙන් යුක්ත සටන්කලා ගණනාවක් තියෙනවා. ඒවා කාලාපයෙන් කලාපයට වෙනස්. 
දකුණු ආසියානු කලාපයේ සටන් කාලා පිළිබඳ සලකා බලන විට ඉන්දියාවේ පැවති ‘මල්ල යුද්ධ‘ නම් සටන් කලාව සිද්ධාර්ථ කුමරයා පවා ප්‍රගුණ කර ඇති සටන් කාලාවක් ලෙස සැලකෙනවා. වර්තමානයේ මෙය ‘කබඩි‘ ක්‍රීඩාව ලෙස පරිවර්තනය වී තිබෙනවා. අද වන විට දේශීය ඉන්දියානු සටන් කලා ලෙස ‘කලරියප්පට්ටු‘(Kalaripayattu), ‘ගතක්‘ (Gatkaසහ ‘සිලම්බම්‘(Silambam) යන සටන්කලා පෙන්වාදිය හැකියි. ශ්‍රී ලංකාව තුළද ඈත අතීතයේ සිටම පැවති ශ්‍රේෂ්ඨ සටන් කලාවක් ලෙස ‘අංගම් පොර‘ (Angampora)හඳුන්වාදෙන්න පුළුවන්. මීට අමතරව අග්නිදිග ආසියානු රටවල පවතින සටන්කලා ලෙස; තායිලන්තයේ ‘මුඒයි තායි‘(Muay Thai) ලාඕසයේ ‘මුඒයි ලාඕ‘(Muay Lao), ඉන්දුනීසියාවේ හා මැලේසියාවේ ‘සිලාත්‘ (silat) , මියන්මාරයේ ‘බැන්ඩෝ‘ (Bando), පිලිපීනයේ ‘ඒස්ක්‍රිමා‘(Eskrima) වැනි සටන් කලා උදාහරණ ලෙස දැක්විය හැකියි. නැගනහිර ආසියාවේ සටන් කලාවන් චීනය, ජපානය හා කොරියාව මුල්කරගෙන බිහිවී තිබෙනවා. කොරියානු සටන්කාලා ලෙස ‘ටයි ක්වොන් ඩෝ‘ (Taekwondo), ‘ටෙක්යොන්‘ (Taekkyeon) හා ‘හප්කිඩෝ‘ (Hapkido) වැනි සටන් කලා හැඳින්විය හැකියි. ජපන් සටන් කලා අතරින් ‘කරාතේ‘(Karate), ‘අයිකිඩෝ‘ (Aikido), ‘ජූඩෝ‘(Judo) ‘ජුයි ජිට් සු‘(Jujitsu) ‘නින්ජිට් සු‘(Ninjutsu), සූමෝ‘(Sumo)‘කෙන්ඩෝ(Kendo) හා කියුඩෝ (Kyudo) වැනි සටන් කලා ප්‍රධාන වෙනවා. චීන සටන් කලා ලෙස ‘කුන්ග් ෆු‘ (Kung Fu) ‘තායි චී‘ (T'ai chi ch'uan) හා ‘වින්ග් චුන්‘(Wing Chun) යන සටන් කලා මූලික වශයෙන් හඳුන්වාදිය හැකියි. සෑම ආසියානු සටන්කලාවක්ම පාහේ බෞද්ධ දර්ශනය පදනම් වී ගොඩනැගුණු ඒවා වීම සුවිශේෂියි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් චීනයට ගිය මහායානික බෞද්ධ භික්ෂුවක් වූ ‘බෝධිධර්මන්‘ හිමියන් විසින් උගැන්වූ සටන් කලාව ‘ෂැවොලින්‘(shaolin) භික්ෂූන් විසින් වැඩි දියුණු කර ඇතැයි සැලකෙනවා. පසුව  විවිධ ගුරු කුල යටතේ වඩා වර්ධනය වූ මෙම සටන් කලා චීනයේ සිට කොරියාවට හා ජපානයට සංක්‍රමණය වන්නට ඇතැයි සිතිය හැකියි. කෙසේ වෙතත් ඔෂීනියානු හා අප්‍රිකානූ සටන්කලා බොහෝදුරට විවිධ වූ ගෝත්‍රික ආභාෂයන් මත නිර්මාණය වූ ඒවායි.
අතීතයේ සිට පරිණාමය වූ සටන් කාලාවන්ට අමතරව මෑත කාලීනව ලෝකයේ නවීන සටන්කලා රාශියක් බිහිවී තිබෙනවා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ සටන් කලාවක් වන්නේ ප්‍රකට සටන්කරුවකු වන “බෘෘස් ලී“ විසින් හඳුන්වාදුන් ‘ජීට් කුන් ඩෝ‘ (Jeet Kune Do) සටන් කලාවයි. මෙය වර්තමානයේ වඩාත් ප්‍රචලිත සටන් කලා අතුරින් එකක්. එය පෙරදිග ‘වින්ග් චුන්‘ සමඟ අපරදිග ‘මුෂ්ඨි හරඹ‘ සහ ‘ප්‍රංශ කඩු සටන්‘ යන සටන්කලාවන් හි මූලිකාංග කැටි කොට නිර්මාණය කරන ලද සටන් කලාවක්. තවත් වැදගත් නූතන සටන් කලාවක් ලෙස ‘ක්‍රාව් මාගා‘(Krav Maga) සටන් කලාව හැඳින්විය හැකියි. එය ඊශ්‍රායල සම්භවයක් ඇති සටන් කලාවක්. වර්තමානයේ බොහෝ රටවල හමුදා සොල්දාදුවන් විසින් මෙම සටන්කලාව අධ්‍යයනය කරනු ලබනවා.
සටන් කලාවන් ප්‍රධාන වශයෙන් කුලකයන් කිහිපයකටම බෙදා වෙන් කළ හැකියි.


  1. නිරායුධ සටන් කලා (Unarmed Martial Arts) උදා - කරාතේ
  2. ආයුධ සහිත සටන් කලා (Armed Martial Arts) උදා - කියුඩෝ


නිරායුධ සටන් කලා තවදුරටත් බෙදා දක්වනවා නම්,

  1. පහරදෙන සටන් කලා (Strike Martial Arts) උදා - මුෂ්ඨි හරඹ(Boxing)
  2. පොරබදින සටන් කලා (Wrestling Martial Arts) උදා - සූමෝ

තවත් ආකාරයට මෙම සටන් කලා වර්ග කරනවා නම්,
  1. සිටි පහර සටන් කලා(Stand Up Strike) උදා - ටයි ක්වොන් ඩෝ
  2. භූමි සටන් (Ground Fighting) උදා -මල්ලව පොර

  • භූමි සටන් ප්‍රධාන කොටස් 2කි.

  1. විසිකිරීමේ කලා(Throwing Martial Arts) උදා - ජූඩෝ
  2. මෙල්ල කිරීමේ කලා(Grappling Martial Art) උදා - ජුයි ජිට්සු

පහරදෙන සටන්කලා ප්‍රධාන කොටස් 3ට වර්ග කළ හැකියි.
  1. තදින් පහර දීම(Full Contact) උදා - මුඒයි තායි
  2. අර්ධ පහර දීම(Semi Contact) උදා - වින්ග් චුන්
  3. සැහැල්ලු පහර දීම(Light Contact) උදා - තායි චී

ශක්තිය යොදන්නේ කවුද? යන්න මත ද සටන් කලා වර්ග කළ හැකියි.
  1. පහර දෙන්නා ශක්තිය යොදන සටන්කලා( Using Offensive force) උදා - මුඒයි තායි
  2. ප්‍රතිවාදියාගේ ශක්තිය භාවිතා කරන සටන්කලා (Using Defensive force) උදා - අයිකිදෝ

සටන ආරම්භ කරන ආකාරය අනුව සටන් කලා වර්ග 2කි.
  1. පහරදෙන සටන් කලා(Offensive Martial Arts) උදා - ජීට් කුන් ඩෝ
  2. පහර වලකන සටන් කලා(Defensive Martial Arts) උදා - වින්ග් චුන්

සටන්වදින්නේ පුද්ගලයන් කීදෙනකු සමඟද යන්න මත ද සටන් කලා වර්ග කළ හැක,
  1. මුහුණට මුහුණ සටන් (Face to Face Fighting) උදා - ෆෙන්සින්(ප්‍රංශ කඩු සටන්)
  2. සමූහ සටන් (Gang Fighting) උදා - මල්ල යුද්ධ

පහරදීමට භවිත කරන ශරීර අවයවය කුමක්ද යන්න මතද සටන් කලා වර්ග කළහැක.
  1. අත් පහර සටන් කලා (Hand Strike Martial Arts) උදා - මුෂ්ඨි හරඹ(Boxing)
  2. පා පහර සටන් කලා(Leg strike Martial Arts) උදා - ටයි ක්වොන් ඩෝ
  3. අත් හා පා පහර සටන් කලා(leg & Hand Strike Martial Arts) උදා - පා මුෂ්ඨි හරඹ(Kick Boxing)
මේ එක් එක් සටන් කලාවන් සම්බන්ධව වෙන වෙනම සලකා බැලූ විට විවිධ වූ අනන්‍යතාවයන්, ප්‍රභලතාවයන් හා දුර්වලතා පවතිනවා. ඒ අනුව වඩාත් විශිෂ්ඨතම සටන් කලාව මෙය යැයි සැලකිය හැකි කිසිඳු සටන් කලාවක් හඳුනැගනීම අපහසු කාර්යයක්. සෑම සටන් කලාවක්ම ස්වභාවදහමේ අනුසාරයෙන් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා යි. සටන යනු සෑම සත්ත්වයකු හටම පොදු වූ හැකියාවක්. මිනිසා විසින් ස්වකීය ජන්ම හැකියාව වර්ධනය කරගැනීමට සටන් කලා බිහිකරගත්තේ යැයි නිගමනය කළ හැකි වන්නේ ඒ නිසයි.


Monday, December 14, 2015

අන්තරේ..


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හෙවත් අන්තරේ‘ යනු ශ්‍රි ලාංකික සමාජ ප්‍රවාහය තුළ වඩා බලගතු බලපෑම් කණ්ඩායමකි(Pressure Group).ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අන්තරේ තරම් බලගතු වූ වෙනත් කිසිඳු ශිෂ්‍ය සංවිධානයක් නැති තරම්ය. එදා මෙදා තුර මෙරට සෑම සිසු අරගලයකටම නායකත්වය සැපයුවේ අන්තරේ විසිනි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අන්තරේ යන නම පට බැඳෙන්නේ 1986 දී ය. එය හඳුන්වාදෙන්නේ දිවයිනපුවත්පත මඟිනි.

අන්තරේ නිල වශයෙන් ආරම්භ වන්නෙ 1969 ජුනි 28 වැනිදා පේරාදෙණිය සරසවියේදී වන අතර එහි ප්‍රථම සභාපතිවරයා වූයේ මැල්කම් විජේසිංහ යි.  අන්තරේ යනු ශ්‍රී ලංකාවේ සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යල පද්ධතිය තුළ ඉගෙනුම ලබන සියළුම ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන පොදු ව්‍යාපාරයකි.අන්තරේ  යනු හුදෙක් ශිෂ්‍ය ව්‍යාපාරයක් පමණක්ම නොව. එය මෙරට වෙනත් බහුජන හා සමාජ ව්‍යාපාරයන් හා බද්ධව සමස්ථ පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාකිරීමට සැමවිටම පෙරමුණ ගත් සංවිධානයකි. න්‍යායාත්මකව ගත්කළ සැමවිටම පාහේ අන්තරේ පසුවූයේ වාමාංශික දෘෂ්ඨිගතිකත්වයක් තුළය. 1980 දශකයේ සිට පැවති රාජ්‍ය මර්ධනය හමුවේ වූවද වඩාත් ක්‍රියාකාරී වූ අන්තරේ සිය සටන් ව්‍යාපාරයන් අනේක බාධකයන් හමුවේ නොසැලී ඉදිරියට මෙහෙය වීමට සමත් විය.
අන්තරේ ප්‍රභල සමාජ ව්‍යාපාරයක් බවට ශක්තිමත් කර ඇති ප්‍රධානතම සාධකය වන්නේ එහි ප්‍රභල සංවිධාන ව්‍යුහයයි. අන්තරේ නිලවරණය පැවැත්වීමේදී ඊට සෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයක්ම නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතයන් සහභාගී වේ. එහිදී විවිධ දේශපාලනික මතවාදයන් හි ආභාෂය ලැබූ ශිෂ්‍ය සංගම් තුළින් ඉදිරිපත් වන නාමයෝජනා අනුව පවත්වන නිලවරණය හරහා නිලධාරීන් පත්කරගනු ලැබේ. ඒ අනුව අන්තරේ බලය,1969 සිට 1972 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය සංවිධානයට ද 1973 සිට 1977 දක්වා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට ද 1978 සිට 2011 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ද 2012 සිට අද දක්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයට ද හිමිවිය. එහෙත් කිසිඳු අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වූ සමවාදී ශිෂ්‍ය සංගමය වෙත අන්තරේ බලය හිමි නොවීම ද විශේෂත්වයකි.

මෙරට ශිෂ්‍ය ප්‍රජාව උදෙසා නිදහස් අධ්‍යාපනයත් - අධ්‍යාපනයේ නිදහසත් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් පැවති රාජ්‍ය පාලන තන්ත්‍රයන්ගේ මිලේච්ඡ, අධම මර්ධනකාරීත්වය හමුවේ අන්තරේ ට නායකත්ව සැපයූ බොහෝ ශිෂ්‍ය නායකයෝ දිවි පිදූහ. ඒ අනුව 1986 සිට 1990 දක්වා අන්තරේ කැඳවුම්කරුවන්වූ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ රංජිතම් ගුණරත්නම්, කොළඹ නීති පීඨයේ සරත් එදිරිසූරිය, කැළණිය ශ්‍රාස්ත්‍ර පීඨයේ මච්චාගම සේනාරත්න, මොරටුව ඉංජිනේරු පීඨයේ නිමල් බාලසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල දිසානායක, කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න සහ කොළඹ වෛද්‍ය පීඨයේ සිසිර කීර්ති ජයවර්ධන යන කැඳවුම්කරුවන් සියළු දෙනාම පාලකයන් විසින් ඝාතනය කරවීය.

1980 දශකයේ භීෂණ සමයේ ඝාතනයට ලක් වූ අන්තරේ කැඳවුම්කරුවන් (ඉහත නම් සඳහන් පිළිවෙලට)

මෙරට ප්‍රථම ශිෂ්‍ය ඝාතනය වූ පේරාදෙණිය  සරසවියේ වෛද්‍ය ශිෂ්‍ය වීරසූරිය ඝාතනය වූ 1976 දෙසැම්බර් 12 දා සිට අද වනතුරු ඝාතනයට ලක්වූ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 632කි. ඉන් 623ක් ඝාතනය වූයේ ජවිපෙ දෙවන කැරළි සමය වන 1986 සිට 1990 දක්වාය. ජවිපෙ දෙවන කැරැල්ලේදි ඝාතනයට ලක්වූ සරසවි සිසුන් 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදහන් විය. ජවිපෙ දෙවන කැරළි සමයේදී ඝාතනයට ලක්වූ පාසැල් සිසුන් සංඛ්‍යාව 2,327කි. මේ අනුව 1976  සිට මේ දක්වා ඝාතනයට ලක්වී ඇති පාසැල් සහ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 2,959කි. සරසවි සහ පාසැල් සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ගැලවුම්කාරයා බවට එදා මෙන්ම වර්තමානයේ ද පත්ව තිබෙන්නේ අන්තරේ ය.

අද වන විට අන්තරේ ට අාබද්ධව අනෙකුත් ශිෂ්‍ය සංවිධානයන් ලෙස අනතර් පාසල් ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ශිෂ්‍ය එකමුතුව වැනි ශිෂ්‍ය සංවිධානයන් කීපයක්ද ක්‍රියාත්මක වේ.

ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය උද්වේගකරය, බුද්ධිමත්ය, සටන්කාමීය, ප්‍රගතිශීලීය. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය පරිණතය. එය හැමදාමත් තරුණ ජවයෙන් යුක්තය. එබැවින් කිසිවෙකුටවත් කිසිඳු විටෙක දී ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය අවතක්සේරු කල නොහැක.අන්තරේ යනු එවන් වූ අද්විතීය ශිෂ්‍ය ව්‍යාපාරයක අපරාජිත නායකත්වයයි.  


(ධර්මන් වික්‍රමරත්න මහතාගේ ලිපියක් ඇසුරෙණි) 


Saturday, December 5, 2015

ගල් ගසා මැරීම...


ලොව ප්‍රධාන නීති සම්ප්‍රදායන් කීපයකි. රෝම - ලන්දේසි නීතිය මූලික කොටගෙන සැකසුණු ‘සිවිල් නීති සම්ප්‍රදාය‘(Civil Law Tradition); ඉංග්‍රිසි නීතිය මූලික කරගත් ‘පොදු නීති සම්ප්‍රදාය‘(Common Law Tradition); ආගමික නීති සම්ප්‍රදායන් (Canon Laws) සහ කොමියුනිස්ට් නීති සම්ප්‍රදාය (Communist Law Tradition) එම ප්‍රධාන නීති සම්ප්‍රදායන් වේ.
ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා යුරෝපා රටවල් රැසක රෝම - ලන්දේසි නීතිය පොදු නීතිය ලෙස ක්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍යය ඇතුළු බොහෝ පොදුරාජ්‍යය මණ්ඩලීය රටවල සාමාන්‍ය නීතිය වන්නේ ඉංග්‍රිසි නීතියයි. පැරණි සෝවියට් සමූහාණ්ඩුව හා වර්තමාන මහජන චීන සමූහාණ්ඩුව තුළ ප්‍රධාන නීතිය වශයෙන් කොමියුනිස්ට් නීතිය ක්‍රියාත්මක වේ. ආගමික නීති සම්ප්‍රදායන් ක්‍රියාත්මක වන රාජ්‍යයන් අතර මැදපෙරදිග කලාපයේ ඉස්ලාමික රාජ්‍යයන් ප්‍රධාන වේ. ඉස්ලාමිය ‘ෂරියා‘ නීතිය මේ රටවල ක්‍රියාත්මක වන පොදු නීතියයි.
ඉස්ලාමීය ‘ෂරියා‘ නීතිය ‘කුරාණය‘ හා ‘හදීත්‘ නම් ආගමික ග්‍රන්ථ මත පදනම් වූවකි. සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, නියජීරියාව, උතුරු සුඩානය වැනි රාජ්‍යයන් ගණනාවක ‘ෂරියා‘ නීතිය ක්‍රියාත්මක වේ. ආගමක් වශයෙන් ඉස්ලාම් දහම ලොව පුරා විසිරී සිටින බිලියන 1.6 ක් පිළිගනු ලබයි. ‘ෂරියා‘ නීතිය මෙම සියළුම ඉස්ලාමිකයන් හට අදාල නොවුණද, ෂරියා නීතිය ක්‍රියාත්මක වන රටක ජීවත්වන ඉස්ලාමිය නොවන්නකුට වූවද ෂරියා නීතිය අදාල වේ. 
නූතන ලෝකයා අනුමත නොකරන ආකාරයේ අමානුෂික දණ්ඩන ක්‍රමවේද රැසක් ෂරියා නීතිය තුළ ක්‍රියාත්මක වේ. ඉන් එක් දඬුවමක් වන්නේ ගල් ගසා මරා දැමීමයි. මෙම ලිපිය තුළින් ගල් ගසා මැරීම කෙතරම් අයුක්ති සහගත වූ ක්‍රියාවක්ද නැතිනම් එය කෙතරම් අශිෂ්ඨ ක්‍රියාවක්ද යන්න පිළිබඳ විචාරය කිරීම සිදු නොවනු ඇත. එහෙත් මෙම දඬුවම පිළිබඳ සරල හැඳින්වීමක් පමණක් පහත දක්වා ඇත.
ඉස්ලාමිය ෂරියා දණ්ඩන නීතියට අනුව පහත සඳහන් කොන්දේසි  ගල්ගසා මරා දැමීමේ දඬුවම සඳහා අදාල වේ.
Article 102 – An adulterous man shall be buried in a ditch up to near his waist and an adulterous woman up to near her chest and then stoned to death.
Article 103 – In case the person sentenced to stoning escapes the ditch in which they are buried, then if the adultery is proven by testimony then they will be returned for the punishment but if it is proven by their own confession then they will not be returned.
Article 104 – The size of the stone used in stoning shall not be too large to kill the convict by one or two throws and at the same time shall not be too small to be called a stone.
- 2008 version of Islamic Penal Code of Iran - 
102 වගන්තිය -  අනාචාරී පුද්ගලයකු වේ නම් ඔහු ඉඟටිය දක්වා වැළලීමෙන් ද අනාචාරී ස්ත්‍රියක් වේ නම් ඇය උර දක්වා වැළලීමෙන් ද අනතුරුව ගල් ගසා මරා දැමිය යුතුය.

103 වගන්තිය - යමකු ගල් ගසා මරා දැමීමට නියමව සිටින විටෙකදී දඬුවමින් මිඳුනේ නම් අදාල අයගේ අනාචාරී හැසිරීම වාචික සාක්ෂී මත ඔප්පු වන්නේ නම් නැවත දඬුවමට පැමිණවිය යුතුය. නමුත් ස්ව පාපෝච්චාරණයක් මත එසේ නොකළ යුතුය.

104 වගන්තිය - වැරදිකරු එක් පහරකින් හෝ දෙකකින් මරා දැමීමට සමත් වන තරමේ විශාල නොවූත් හෝ ඉතා කුඩා නොවූත් ගල්, දඬුවම සඳහා භාවිත කළ යුතුය.


මූලාශ්‍රය - ඉරාන ඉස්ලාමිය දණ්ඩ නීති සංග්‍රහය (2008)


ප්‍රධාන වශයෙන් ඉස්ලාමිය නීතිය අනුව ගල් ගසා මරා දැමීමට හේතුසාධක වන වරද වන්නේ අනාචාරයයි (Adultery). ශිෂ්ඨ සම්පනන ලෝකය තුළ මෙවැනි කෘෘර දඬුවම් කිසිලෙසකින් හෝ අනුමත් කරන්නේ නැත. එහෙත් මෙම නීති ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නැත.ශිෂ්ඨත්වයේ සුදු පිරුවටින් නිරුවත වසා සිටින අරාබියේ සැබෑ ස්වරූපය වන්නේ මිලේච්ඡත්වයයි. 

මේ වන විට ශ්‍රී ලංකාවේ ගෘහසේවිකාවක් සෞදි අරාබියේ දී අනාචාරයේ හැසිරීම මත ගල් ගසා මරා දැමීමට නියමිතව සිටී. මීට පෙර ද රිසානා නම් ලාංකික තරුණිය හිස් ගැසුම් කෑවේ සෞදියේදී ය.බුදුන් වැඳිමේ වරදට සෞදියේ සේවය කරමින් සිටි තුංගසිරි කසපහර 100ක් දී නැවත ලංකාවට පිටුවහල් කළේද සෞදිය විසින්ම ය. අනෙකුත් අරාබි රටවලද නොවිඳිනා දුක් විඳින ලාංකික ශ්‍රම බලකාය අපමණය. ඒ අතුරින් ඇතැම්හු අතේ පයේ ඇණ ගසාගත්තෝය. තවත් පිරිසක් රත්වූ යකඩයෙන් පිළිස්සුනෝය. ඇතමෙක් සුල්තාන් මන්දිර වල ඉහළ මාලයන් හි සිට පහළට විසි කරනු ලදුව සදාකාලික අබ්බගාතයෝ වූහ.දෙපයින් ඇවිද ලංකාවෙන් පිටවූ බොහෝ දෙනා හතරැස් පෙට්ටිවලින් පෙරළා මව්රට බලා පැමිණියෝය. 

ශ්‍රී ලංකා මහබැංකු දත්ත වලට අනුව (2015-Workers' Remittances)2014 වසරේදී මුළු විදේශ සේවා නියුක්තික ප්‍රේෂණය ඇ.ඩො.මි. 7,017.82 කි. විදේශ රැකියා අමාත්‍යංශයේ නිල දත්ත වලට අනුව (http://www.foreignemploymin.gov.lk/statics.) 2014 වසරේදී විදේශ සේවා නියුක්තියෙන් 63.22% ක් පුර්ෂයන් වන අතර 36.78% ක් කාන්තාවන් වේ. විදෙස් ගතවන කාන්තාවන්ගෙන් 90% ට වඩා රැකියාව වශයෙන් ගෘහසේවිකාවන් ලෙස කටයුතු කරන අතර ඉන් 75%ට වඩා ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයේ සේවය කරයි.(ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වාර්තා - 2014)මෙරට අපනයන ආදායම හැරුණුවිට විදේශ සේවා නියුක්තිය හරහා දේශීය ආදායමට විශාල දායකත්වයක් හිමි වේ. මෙරට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් බහුතරය නුපුහුණු සේවකයන් හෝ ගෘහ සේවිකාවන්ය.( මහබැංකු වාර්තා - 2014). ඒ අනුව බලන කළ අප රටට ආදායම උපයන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ සේවා නියුක්තියේ 56%ක් නුපුහුණු ශ්‍රමිකයන්වේ. තමා විදෙස්ගත වන රාජ්‍යයේ සමාජ හා නෛතික පසුබිම හෝ තම වෘත්තීය හැකියාව පිළිබඳව හෝ නොදත් අසරණයන් පිරිසක් තම ජීවිත පරදුවට තබා සොයන සොච්චමෙන් අපි රටක් හැටියට ඉදිරියට යමින් සිටිමු. ඒ මදිවට රෙද්දපල්ලෙන් බේරෙන නරිවාදම් ද දොඩමින් සිටිමු. ආරාබියට ගෑණුන් පටවන ආර්ථිකයකට කොතරම් දුරක් තිරසාරව පැවතිය හැකිද..?


මෙරට සාක්ෂරතාවය 98.1% කි. එය දකුණු ආසියාවෙන් ඉහළම අගය ගන්නා වූ ප්‍රතිශතයයි. ඒ අනුව මෙරට බහුතරයක් දෙනා කිසියම් වූ නිපුණතාවයක් හිමි අයවලුන් යැයි නිශ්චය කළ හැක. එහෙත් මෙරට ශ්‍රමබලකායට සාපේක්ෂව දේශීය රැකියා උත්පාදනය ප්‍රමාණවත් නොවේ. එමෙන්ම දරිද්‍රතාවය, දිනෙන් දින ඉහළ යන සමාජ ගැටළු හා උද්ධමනය වැනි කරුණු මත දේශීය වශයෙන් රැකියාවක් සොයාගන්නවාට වඩා විදේශ රැකියාවක නිරත වීම පහසු යැයි බහුතරයක් අතර මතවාදයක් පවතී.මේ අනුව වෘත්තිය දැනුමක් නොමැති නුපුහුණු ශ්‍රමිකයන්ගේ විදෙස්ගතවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.එපමණක් නොව අධ්‍යාපනික හා වෘත්තිය දැනුමෙන් පොහොසත් බුද්ධිමතුන්ගේ බුද්ධි ගලනයත් දිනෙන් දින වර්ධනය වන්නකි. 

මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතින විට මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් තවමත් ‘අත්තන ඇට කෑ උන් සේ‘ පසුවීම රටේ අවාසනාවය. අන්තිමේදී සිදුවන්නේ අරාබියේදී ගල් ගසා මරන්නට නියමු වූ අපේ ගැහැණියක වෙනුවෙන් කොළඹ 7 සුපිරි පැලැන්තියේ කාන්තා සංවිධාන වල ගැහැණුන් තම බොරු රඟපෑම් තුම්මුල්ලේ රඟදැක්වීමත්, සති ගණනක් පුරා පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ විවාද කිරීමත්, ෂරියා නීතිය පට්ට ගැසීමත් පමණි.

අපට අරාබිය හෝ් ෂරියා නීතිය හෝ වෙනස් කළ නොහැක. එහෙත් අපට අපේ රටේ ආර්ථික, දේශපාලන හා සාමාජයීය ප්‍රතිපත්තීන් වෙනස් කළ හැක. 


(වැඩිදුර පරිශීලනයට මහබැංකු වාර්ෂික වාර්තාව - 2014  http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/annual_report/AR2014/Sinhala/content.htm)