Saturday, November 28, 2015

උපාධිය ලාබෙට

එන්න එන්න ගන්න ගන්න
ලාභයි හැබැයි බාලයි
MBBS
LL.B
ඉංජිනේරු
B.com
අතේ ඇති ගාණට අරන් යන්න
පොඩි පුතාට, චූටි දුවට
මහත්වරුණි අරන් දෙන්න
ලක්ෂ ගණං ළඟ ඇතිකොට,
කරන්න පුළුවන් මොනවද..?
සල්ලි වලින් ඔබ ළඟ ඇති
පොඩි දරුවගේ ආසාවට
උපාධියක් අරන් දෙන්න
නිකන් දුන්න කාලේ ඉවරයි
දැං උපාධි විකිණෙනවා
කුණු කොල්ලෙට
අද විතරක් නෙමෙයි
හෙට දවසෙත් විකිණෙනවා
අද බලලා හෙට ගන්න 
සල්ලි තියේනම් ඒ ඇති
වෙන මොකුත්ම ඕනේ නෑ
එන්න එන්න ගන්න ගන්න
උපාධිය ලාබෙට...


Sunday, November 15, 2015

ඇඩ්‍රස් නෑ...



කාලෙකට පස්සෙ හොඳ චිත්‍රපටියක් බැලුවා. ඔව්, ඇත්තටම හුඟ කාලෙකට පස්සේ. මේ වෙනකොට ලංකාවේ සිනමාව එක එක රැලි පස්සේ දුවලා හොඳටම හති වැටිලා ඉන්න‍ෙ. කාලයක් අපේ සිනමාව බොළඳ ආදර කතා පස්සේ දිවුවා. නිකං නෙමෙයි කෝටි ගණං වියදං කරගෙන.  ඊට පස්සේ විකට කතා රැල්ලක් ආවා. ඉස්කෝලේ ළමයි ටිකට පෙන්නන්න පුළුවන් හන්දා ළමා චිත්‍රපටි හැදුවා. මෑතක් වෙකොට නවත්තගන්න බැරි රජ කතා රැල්ලක් ගොඩනැඟුනා. ඒත් මේ එක රැල්ලකින් වත් ලංකාවේ චිත්‍රපටි කර්මාන්තයේ සාධනීය වර්ධනයක් උනේ නෑ. ප්‍රේක්ෂකයා එන්න එන්න චිත්‍රපටි වලින් ඈත් උනා. එ්කට එක හේතුවක් තමයි මේ සමාජ ක්‍රමයත් එක්ක චිත්‍රපටියක් බලන්න තරම් විවේකයක් මිනිස්සුන්ට නැති එක. ඒත් අඩුම තරමේ ෆිල්ම් හෝල් එක පිරෙන්න සෙනඟ ගෙන්න ගන්න මේ එක රැල්ලකටවත් බැරි උනා. අපේ රටේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි බිහි උනත් ඒවා වාණිජ පරමාර්ථයෙන් හැදුණ ඒවා නෙමෙයි. ඒ වගේ හොඳ චිත්‍රපටි බලන්න නම් චිත්‍රපටි සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්නම ඕනේ. මොනවා උනත් ජැක්සන් ඇන්තනී මහත්තයා මේ දෙපැත්තම දිනාගෙන තියනවා. හොල් එක පිරෙන්නම සෙනඟ නැති උනත් ‘ඇඩ්‍රස් නෑ‘ බලන්න මිනිස්සු ඇවිල්ලා හිටියා. චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු වල තිබුණ ආකර්ෂණීය නිර්මාණශීලී බවත් එ්කට එක හේතුවක් වෙන්න ඇති. මිනිස්සු ගොඩක් කුතුහලෙන් තමයි චිත්‍රපටිය බලන් ඇවිලා තිබුණේ. ඒ කුතුහලයේ පිපාසය නිවෙන්නට සීතල වතුර වීදුරුවක් පුරෝලම ජැක්සන් මහත්තයා දීලා තිබුණා.
වාණිජ වශයෙන් චිත්‍රපටිය සාර්ථකයි.ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. ‘ඇඩ්‍රස් නෑ‘ අළුත් කතා තේමාවක්. මේතාක් කාලෙකට කතා නොවුණු කතා තේමාවක්. මගේ මතකේ හැටියට ළමා චිත්‍රපටියක් උන ‘සමනළ තටු‘ චිත්‍රපටියේ තිබුණේ මීට සමාන තේමාවක්. නමුත් ‘ඇඩ්‍රස් නෑ‘ චිත්‍රපටිය ගොඩක් සංකීර්ණයි. සරල නෑ. ‘ඇඩ්‍රස් නෑ‘ පවුලේ කාටත් එකට ඉඳං බලන්න පුළුවන් චිත්‍රපටියක්. මොකද ඒකේ කතා වෙලා තියෙන තේමාව පොඩි උන්ට තේරෙන්නේ නැති නිසා පොඩි උන් බැලුවා කියලා අවුලක් නෑ. අනික ඒකේ ඇතැම් රූප රාමු, දෙබස් මේ සමාජයේ වැඩිහිටියන්ට හුරු පුරුදු උනාට පොඩි උන්ට තේරෙන්නේ නෑ. ඒ නිසා පොඩි එවුන් එක්ක බය නැතුව බලන්න පුළුවන්. හැබැයි පොඩි උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමන්ට පුළුවන්නම් විතරක් පොඩි උන් එක්ක ඇවිත් බැලුවට වරදක් නෑ. 

නාසි වත්තේ හිට්ලර් කියන්නේ කතාවේ ප්‍රධාන චරිතයක්. මිනිහා මහඋළුගෙදර ඉඳං එලියට එන තැනකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. හිට්ලර් මැරයා. මිනිහා කරන්නේ පොඩි පොඩි බිස්නස්. ඒවා කුඩු බිස්නස් වගේ ලොකු ඒවා නෙමෙයි. මිනිහගේ බිස්නස් එක තමයි හිඟාකෑම. හිඟාකෑම කිවුවට හිඟාකෑමට සැලැස්වීම. පොඩි දරුවෝ, අබාධිතයෝ,පික් පොකට් කාරයෝ, වීදි නාට්‍යකාරයෝ, සර්කස්කාරයෝ,ෂැන්ඩෝ කාරයෝ මේ වගේ උදවිය තමයි මිනිහගේ ගෝලයෝ. ගුබ්බෑයමේ ගෝරිං කියන්නේ හිට්ලර්ගේ දෙවැනියා. කසිකබල් පරණ ඩෙලිකා වෑන් එකක උදේ පාන්දරම කට්ටිය පටවගෙන ගිහින් තැන් තැන් වල බස්සන ගෝරිං, ආයෙමත් හවසට ඒ අයව එකතු කරගෙන ඇවිදින් කට්ටියම එදා හිඟාකාලා හම්බකරගත්ත  සම්තිං එක හිට්ලර්ට බේරනවා. මේක තමයි වැඩපිළිවෙල. ඔය අතරේ නාසි වත්තේ ඉන්න තවත් චරිතයක් තමයි සන්ධ්‍යා අක්කා. සන්ධ්‍යා අක්කා ගාව කෙල්ලෝ තුන්දෙනෙක් වැඩකරනවා. වැඩ කරනවා කිවුවට ගාමන්ට් එකක් නෙමෙයි. සන්ධ්‍යා අක්කගේ බිස්නස් එක තමයි ගණිකා වෘත්තිය. හිට්ලර්ට ඕනේ උනාම යන්නෙත් සන්ධ්‍යා අක්කා ගාවට. ඒත් කවුරු මොනවා කළත් අන්තිමේදි හිට්ලර්ගේ පංගුව හිට්ලර්ට ලැබෙන්න ඕනේ.  සද්ගුණවත් පිංසාර කියන්නේ හොඳ සල්ලිකාරයෙක්. ඒ වගේම ලොකු බිස්නස්කාරයෙක්. මිනිහාගේ බිස්නස් එක තමයි ආබාධිතයන්ට අදාල වෙන උපකරණ හදන එක. මිනිහා අබ්බගාත දුප්පත් පොඩි එකෙකුට නොමිලේම ගැලපෙන බොරු කකුල් දෙකක් හදලා දෙනවා.ඒ තරමටම පින්සාර සද්ගුණවත් කෙනෙක්.නමුත් පින්සාර කියන්නේ හිට්ලර්ට කොන්ත්‍රාත් දෙන අතරමැදියෙක් කියලා තේරෙන්නේ චිත්‍රපටිය ටික වෙලාවක් බලද්දී. සමාජයේ ඉන්න ලොකු ලොකු මිනිස්සුන්ගෙ එක එක කොන්ත්‍රාත් ලැබෙන්නේ පින්සාරට. පින්සාර ඒව දෙන්නේ හිට්ලර්ට. හිට්ලර් වැඩේ කරාම තමන්ට ලැබුණ ගාණින් ටිකක් හිට්ලර්ට දෙන්න පිංසාර අමතක කරන්නේ නෑ. ඔහොම ලැබෙන්නේ නිකම්ම නිකං කොන්ත්‍රාත් නෙමෙයි. මිනීමැරුම් වගේ ඒවා. දවසක් ගෝරිං ලව්වා පිංසාරගේ කොන්ත්‍රාත් එකක් කරවගන්න හිට්ලර් ටික කාලෙකට ගෝරිංව ඇඹිලිිපිටියට යවනවා. ඇඹිලිපිටියේ මුදලාලි කෙනෙක් ඒ වෙනුවට ඇඹිලිපිටියේ කරා ව හිට්ලර්ට එවනවා. එදා ඉඳං ගෝරිංගේ තනතුර ලැබෙන්නේ කරාට. කරා ටිකක් වෙනස්. ගෝරිං වගේ නෙමෙයි. නාහෙට අහන්නේ නෑ. නමුත් වැඩේ හරියට කරනවා. හිට්ලර් යටතේ වැඩ කරන එක ගෝලයෙක් තමයි චැප්ලින්. චැප්ලින් ගොලුයි. චැප්ලින් කරන්නේ වීදි නාට්‍ය. චැප්ලින්ට ඉන්නවා දුවෙක්. චැප්ලින් ඒ දරුවගේ ඇත්තම තාත්තා නෙමෙයි. නමුත් ඒ බව චැප්ලින් තමන්ගේ දුවට හඟවන්නේ නෑ.  දුව හිතං ඉන්නේ තාත්තා මඩකලපුවේ කඩයක් කරනවා කියලා. චැප්ලින්ගේ දුව නීතිය ඉගෙන ගන්නවා. චැප්ලින්ගේ දුවට ආදරය කරන්නේ පින්සාරගේ පුතා. මිනිහා නීති ශිෂ්‍යයෙක්. මේ නීති ශිෂ්‍ය කණ්ඩායම මාවත් දරුවන්, පැල්පත්වාසින්, ගණිකාවන් වගේ සමාජයේ පහළම ස්ථරයේ ඉන්න උදවිය ගැන රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක එකතු වෙලා අධ්‍යයනය කරනවා. ඔය අතරේ පින්සාරට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා ඇමති තුමාගෙන්. ඇමතිතුමාගෙ පුතා එක්ක යාළු වෙලා ඉන්න පොහොසත් කෙල්ලෙක්ව ඉවර කරන්න කියලා. පින්සාර මේ කොන්ත්‍රාත්තුව භාරකරනවා හිට්ලර්ට. හිට්ලර් වැඩේ පවරන්නේ ඇඹිලිපිටියේ කරා ට. කොහොමහරි කරා අතින් වැඩේ ගැස්සෙනවා. අන්තිමේදි  හිට්ලර්, සන්ධ්‍යා මේ හැමෝම පොලීසියට කොටුවෙනවා. ඔය අතරෙදි මේතාක් කාලෙකට සුදු පිරුවටය දවටගෙන හිටපු පින්සාරගේ නිරුවතත් එළිවෙනවා. මෙහෙම කියන්න ගියොත් මං මුළු චිත්‍රපටියම කියෙව්වා වෙනවා. ඒ වැඩේ කරන්න බෑ. ගිහිල්ලම බලන්න.

ජැක්සන්,කමල්,සබීතා,මහේන්ද්‍ර,දර්ශන්,රොෂාන් වගේ අති දක්ෂ ප්‍රවීණයෝ එක්ක නවකයන් රැසක් තමන්ගේ රංගනයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා.සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්. ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ගායනයෙන් දායක වෙන්නේ ගයාන්,නෙළු සහ ශෂිකා. 

‘ඇඩ්‍රස් නෑ‘ කියන්නේ සමාජයේ හරස්කඩක් ගත්තොත් ඒකේ පහළම ස්ථරයේ ජීවත්වෙන පීඩිතම මිනිසුන් කොටසක් ගැන කියවෙන කතා තේමාවක් වටා ගොඩනැඟුණු චිත්‍රපටියක්. ඒ නිසා මේක මේතාක් කාලෙකට අපේ රටේ චිත්‍රපටියක් තුල කතා නොවුණු මාතෘකාවක්. ඇත්තටම ඇඩ්‍රස් නැති සමාජ පංතියක් ගැන කියවෙන කතාවක්. ඇඩ්‍රස් නැති වුණ ලාංකික සිනමාවට ඇඩ්‍රස් දෙන්න ගත්ත උත්සහයක්. බලන්න. 
“මේ බජාර් එකට අහසත් නෑ.. පොළවත් නෑ.. ඇඩ්‍රස් නෑ“ 


ඇඩ්‍රස් නෑ හැදුණු හැටි, රූගත කිරීම් අතරතුර...


ඇඩ්‍රස් නෑ...

ගායනය - ගයාන් පෙරේරා
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ




Thursday, November 12, 2015


රටේ හෙට දවස පිළිබඳ සිතන්නට
පුරුදු වුණු එවුන් දැන් නැත සොයන්නට
‘අම්මපා එකෙක් හොයනව බං බෙහෙතකට
පුළුවන්නං හොයලා දීපංකො මට‘

“අයියෝ ඡන්දේ නං දීලා වැඩක් නැතේ“
කියමින් හූල්ලා ආයෙත් ඡන්දෙ දෙතේ
පරම්පරාවෙන් පක්ෂය උරුම වෙතේ
දේශපාලුවෝ උඩ පැන රටම කතේ

උපාධියට මෙහෙ නං දැං නැහැ රස්සා
සල්ලි ඇතොත් ගතහැකි මුදලට රිස්සා
බෙහෙත් හිඟයි ඉස්පිරිතාලෙත් ගස්සා
දුප්පත් එකාගේ බඩ පිටමැද කිස්සා

කුඩු, එතනෝල්, ගංජා බොන උන් හැරුණ
ආසාවකට පොත් ගුල යන උන් හැළුණ
පොත්-පත් වීසිකර ගෙයි මුල්ලට වැදුණ
පොඩි උන් අතේ දැං ලොකු දුරබනු රැඳුණ

බණමයි රටේ හැමතැනින්ම ඇසෙන්නේ
අපරාධමයි හැම කොණකම කෙරෙන්නේ
ප්‍රවෘත්තියට මේ කුණු රස සොයන්නේ
පොලීසියත් තරඟෙට මඩ නාන්නේ

“අද තනිවම කුහක රැලක් කෑ ගසතේ“
කියමින් අමන මී හරකුන් මොර නඟතේ
ත්‍රීමා, වෙනුර කවුරුන් දැයි දන්නේ නැතේ
උන් මැරිලා රැකි අයිතිය විකිණ ඇතේ

ගමනායකලා කවුදැයි අද නොදන්නේ
පොඩි අතුලලා නළුවන් දැයි අසන්නේ
එච්.බී හේරත්ගේ සිංදුත් සොයන්නේ
උපාලි ජයවීර මතකෙට නැහැ එන්නේ

කොල්ලෝ ගොඩක් 71 දී මැරුණා
හැටදාහක්ම  89 දී මැරුණා
තවත් උන් අනේ, යුධ මැද්දේ මැරුණා
ඉතුරු උන් ටිකත් දැං නොමැරී මැරෙණා

වමේ පක්ෂ දැං දකුණේ පැළවෙනවා
ගොම රිටි මතුවෙලා කළු ගල් යට යනවා
රටේ උගත් උන්ටික රට හැර යනවා
විජේවීර හිටියා නං වැළලෙනවා

දැං මේ රටේ උන් හට නං නැහැ හයිය
රටකන උන්ගේ නං අම්බානෙක කයිය
හිත හිත ඉඳලා නං බැහැ හැමදා ගොයිය
හොඳ හෝ නරක හාන්න වෙනවා හීය



යුගයක මහා යතිවරයකුගේ නික්මයාම...


1942 මැයි 29 මාදුළුවාවේ ග්‍රාමයේ විසූ පතිරගේ දොන් අප්පුහාමි ගොවි මහතාට දාව කරලිනාහාමි මෑණියන්ට උපන් පී.ඩී රත්නසේකර කුල කුමරුවන් සිය ප්‍රාථමික අධ්‍යාපනය  ලැබුවේ මාදුළුවාවේ රජයේ  පාසලෙනි.  1955 මැයි  09 දා උතුම් පැවිදි දිවියට ඇතුළත් ව මාදුළුවාවේ සෝභිත නමින් ස්වකීය යුග මෙහෙවර ආරම්භ කළ උන් වහන්සේ වි‍ද්‍යා්දය හා විද්‍යාලංකාර යන පිරිවෙණ්හි අධ්‍යාපනය ලබමින් සිට 1963 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් (අද කැළණිය සරසවිය) ඉතිහාසය සඳහා ගෞරව පංති සාමාර්ථයක් සහිතව ස්වකීය ප්‍රථම උපාධිය ලබා ගත්හ. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේදී වඩාත් සටන්කාමී ශිෂ්‍ය නායකයකුව කටයුතු කළ උන් වහන්සේ විද්‍යාලංකාරයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයේද කටයුතු කළහ.

සිංහල බලමණ්ඩලය පිහිටුවමින් දේශප්‍රේමී බලමුළු රාශිගත කළ උන් වහන්සේ 1982 වසරේදී එහි සභාපති ධූරයට පත් වූහ.1987 වසරේදී එවකට පැවති රජය මඟින් ලොව ප්‍රථම වරට මැයි දිනය තහනම් කර තිබුණු අවස්ථාවේදී ‘මව්බිම සුරකිමු‘ යන මැයෙන් මැයි දිනයක් ස්වකීය විහරස්ථානයේදී එනම් කෝට්ටේ නාග විහාරයේදී සංවිධානය කිරීමට තරම් උන් වහන්සේ අභීත වූහ.


“1987 මැයි 01 දා කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ මැයි දිනය 
සෝභිත හිමියන් විසින් ඇමතූ අයුරු.“

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හඳුන්වාදුන් අනර්ථකාරී දේශපාලනික සංඝඨකයන් වලට ස්වකීය දැඩි විරෝධය එල්ල කළ උන්වහන්සේ ‘විධායක ජනාධිපතිධූරය අහෝසි කරනු‘ යන සටන් පාඨය පෙරමුණට ගත් ආරම්භක කථිකයකු වූහ. එමෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝදනයටත්, ඉන්දු ලංකා ගිවිසුමටත් විරුද්ධව දැවැන්ත පා ගමන් සහ සත්‍යග්‍රහ පැවැත්වූ සෝභිත හිමියෝ පැවති රජයේ මර්ධනකාරී වැඩපිළිවෙලට අභීත ලෙස මුහුණ දුන්හ.අවස්ථා ගණනාවකදී පැවති රජයන්ගේ මර්ධනයන්ට, අපහාසයන්ට මෙන්ම පහරදීම් වලට පවා මුහුණදුන් උන්වහන්සේ, සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක ලෙස ඒ සෑම දෙයක්ම උපේක්ෂාවෙන් විඳදරාගත්හ.
යුධ සමයේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදි වීරෝධාර සෙබළ බලමුළු දිරි ගැන්වීමට සෝභිත හිමියෝ කිහිප විටෙකදීම උතුරට වැඩම කළහ. ජාතිවාදය මෙන්ම ආගම්වාදය ද දැඩිලෙස පිළිකුල් කළ උන්වහන්සේ ඒක්සත් ජාතියක් ගොඩනැඟීමේ සිහිනය දුටුවෝය. ඒකාධිපති පාලකයන්ට වහකදුරු මෙන් තිත්ත චරිතයක් වූවද මෙරට හඬක් නැති ජනයාට මහා පෞර්ෂ්‍යයක් වූ සෝභිත හිමියෝ සෑම විටම ස්වකීය මව්භූමිය වෙනුවෙන්ම පෙනී සිටියහ.
දේශීයව මෙන්ම විදේශීයව ද ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරතවූ උන්වහන්සේ බුදුසසුන බැබලවීමට මහත් උනන්දුවෙන් කටයුතු කළ යතිවරයාණන් වහන්සේ නමක් වූහ.
මෑත කාලීනව යහපාලනයක් ගොඩ නැංවීමට ‘සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය‘ බිහි කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කරලීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය මේ රට තුළ ස්ථාපිත කිරීමටත් රජයට බල කරමින් මහා බලපෙරළියකට උන් වහන්සේ නායකත්වය සැපයූහ.
සාධාරණ සමාජයක් උදෙසා සෝභිත හිමියෝ ඇපකැප වී ක්‍රියා කළෝය.

ස්වකීය චතුර වාග් විලාශයත්, විශිෂ්ඨ ලේඛණ ශෛලියත් තම එකම අවි බවට පත් කරගත් සෝභිත හිමියෝ අවිහිංසාවාදී අරගලයන් තුළින් මව්බිමේ යුතුකම ඉටුකරලීමට නායකත්වය සැපයූහ. හඬක් නැති මිනිසුන්ට හඬක් දෙමින්, සිහ රජෙකු මෙන් අභීත වෙමින්, ජාතියේ මහා වගකීමක් තම උර මත පටවාගනිමින් සාධාරණ, යුක්තිසහගත හා සදාචාරාත්මක සමාජයක් ගොඩනැංවීමටත් සමගි සම්පන්න එකමුතු ජාතියක් නිර්මාණය කිරීමටත් සෝභිත හිමියෝ මහත් වෙහෙසක් දැරූහ.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල්පේච්ඡ වූ, සෘජුපඨිපන්න වූ සෝභිත හිමියෝ කුඩහපොළ හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි මහා යතිවර පරපුරකින් උරුම වූ සටන්කාමීත්වයත්; රාහුල, ආනන්ද මෛත්‍රීය වැනි පඬිවර පරපුරක මහා පාණ්ඩිත්‍යයත් තමන් වහන්සෙට උරුමව පවතින බව දැන, දේශයේ මහඟු උන්නතිය වෙනුවෙන් තම ජීවිතයම කැප කළෝය.
දැන් ඒ මහා පඬීවරයාණන්ගේ පාණ්ඩිත්‍යයත්, ඒ අභීත සටන්කාමියාගේ සටන්කාමීත්වයත්, යතිවරයකුගේ අනුකම්පාවත් ජාතියකට අහිමි වී ඇත.

සෝභිත හිමියනි, ඔබ වහන්සේගේ සටන අවසන්ය. නමුත් අපගේ සටන අවසන් නැත. ඔබ වහන්සේ පැතූ සාධාරණ සමාජය අපි කෙසේ හෝ ගොඩනඟන්නෙමු. නිවන් දකින්නට මත්තෙන් යළිත් වඩිනු මැන. ඒ ගොඩනැඟි සාධාරණ සමාජය දෙස බලා සතුටු වනු මැන. 

සසුනඹර පාළුය.. දේශය අඳුරුය.. නිමල පහන නිවීගොස් ඇත.



Wednesday, November 4, 2015

එක පංතියේ උන්...

එක පංතියේ, එක බංකුවේ
එකට ඉගෙන ගත්තේ අපි
දුවල, පැනල දස්කම් පෑ
උඹ ගියානේ පොලීසියට
විභාග ටික පාස් වෙලා
මං ආවා වාසිටියට
සිසු අයිතීන් ඉල්ලාගෙන
අපි පාරට බැස්ස විටෙක
උඹ ඉන්නවා
කුලු පොලු ගෙන
පාලකයගෙ රැකවරණෙට
Charge කියූ සැනෙකින්
උඹ තඩිබෑවේ මගෙ ඔළුවට
මතක නැද්ද සිරිමල්, මම
උඹෙ පංතියේ සුනිමල් බව



සේයාරුවට හඬක් දෙමු....

"එන්න කියාපියව්...
උඹලා පිටිපස්සේ හැංගිලා ඉන්න
බියගුළු පාලකයන්ට,
දෙයක් තියනවා අපිට
උන් එක්ක බේරගන්න...."


Tuesday, November 3, 2015

Get up Stand up - Bob Marley



Get up, stand up, stand up for your right (3 times)
Get up, stand up, don't give up the fight

Preacher man don't tell me heaven is under the earth
I know you don't know what life is really worth
Is not all that glitters in gold and
Half the story has never been told
So now you see the light, aay
Stand up for your right. Come on

Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
(Repeat)

Most people think great God will come from the sky
Take away ev'rything, and make ev'rybody feel high
But if you know what life is worth
You would look for yours on earth
And now you see the light
You stand up for your right, yeah!

Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Get up, stand up. Life is your right
So we can't give up the fight
Stand up for your right, Lord, Lord
Get up, stand up. Keep on struggling on
Don't give up the fight

We're sick and tired of your ism and skism game
Die and go to heaven in Jesus' name, Lord
We know when we understand
Almighty God is a living man
You can fool some people sometimes
But you can't fool all the people all the time
So now we see the light
We gonna stand up for our right

So you'd better get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight


පිබිදෙන්න, නැගීසිටින්න
නැගී සිටින්න ඔබේ අයිතීන් වෙනුවෙන්
පිබිදෙන්න, නැගීසිටින්න
සටන අත් නොහරින්න

දෙව් ලොව ඇත්තේ පොළව යට යැයි, දෙසුවන් මට පවසා නැත
මා දනී ඔබ ජීවිතයේ සැබෑ වටිනාකම නොදත් බව
නොවේ ද දිළිසෙන සියල්ල රන් වන්නේ
කතාවේ අඩක් තවමත් පවසා නැත
ඔව්, දැන් ඔබ ආලා්කය දකිනවා
නැගී සිටින්න ඔබේ අයිතීන් වෙනුවෙන්

මහා දෙවිඳුන් අහසින් වඩින බව - බොහෝ මිනිසුන් සිතයි
හැම දේම වෙනස් කර හැම දෙනාම ඉහළින් තබයි
නමුත්, ජීවිතයේ වටිනාකම ඔබ දන්නේ නම්
මහපොළවේ සිටිනා ඔබ ගැන ඔබම බලාගත යුතුයි
ඔව්, දැන් ඔබ ආලා්කය දකිනවා
නැගී සිටින්න ඔබේ අයිතීන් වෙනුවෙන්

අපි හැමදෙනා වෙහෙස මහන්සි වෙනවා
යේසුස්ගේ නාමයෙන් මරණින් පසු දෙව් ලොව යාමට
ඔව්, අපි කවදා හරි වටහා ගනීවි
සර්වබලධාරියා යනු මනුෂ්‍යයකුම බව
ඇතැමුන් මෝඩයන් කිරීමට ඔබට හැකි වේවි
නමුත් ඔබට සැම දෙනාම මෝඩයන් කළ නොහැකියි
ඔව්, දැන් ඔබ ආලා්කය දකිනවා
නැගී සිටින්න ඔබේ අයිතීන් වෙනුවෙන්

පිබිදෙන්න, නැගීසිටින්න
නැගී සිටින්න ඔබේ අයිතීන් වෙනුවෙන්
පිබිදෙන්න, නැගීසිටින්න
සටන අත් නොහරින්න




සමූපකාරෙ බිත්තිය...


1987 ජුනි මාසයේ එක්තරා දිනයක හීංදෙණියම අඳුරු කරමින් කබරගල කඳු වළල්ලෙන් පහලට ඉර ගල ගිලෙන්නට විය. මළහිරු බැසයමින් සිටියේ මරණයේ අන්ධකාරය හාත්පස තවරමිනි. මුළු රටම කාලකණ්නි මූසල බවක් තුරුලුකරගෙන සිටි කාලයකි.

“අනේ සර් ගහන්න එපා. මං කළේ.... නෑ“ 

 සාමෙල් ගේ වම්පස ඉල ඇට වලට එල්ල වූ පා පහර දරාගත නොහැකිව ඔහු බිම ඇද වැටුනේය.

“ගහන්න එපා බුදු සර්... මං වරදක් කරලා නෑ“

ඔහු නැවතත් හඬමින් පැවසුවේ පැය ගණනක සිට තමන්ට පහර දෙන හමුදා නිලධාරියගේ දෑස දෙස බලමින්, බැගෑපත්වය.

“ඈ බොල බැල්ලිගේ පුතෝ... තෝ හිතුවද අපි ඔටුවෝ කියලා.. ගෝනි බිල්ලා ඔළුව වැනුවේ තෝ දිහා බලලා තමයි කියලා අපි හොඳට දැක්කා.. දැං ඉතිං කියපිය, සමූපකාර බිත්තියේ  ‘අහවල් එක නැත්තං මරණය‘ කියලා ලිවුවේ තෝ නේද...? පරයා“

බූට් සපත්තුවකින් වැටී සිටි සාමෙල් ගේ බඩට නැවතත් පා පහරක් එල්ල වූ අතර එවර ඔහුගේ කටින් කැස්සත් සමඟ ලේ පිටවිය.

**************

සාමෙල් උදේ පාන් රොඩ්ඩක් ගිලමින් සිටියදී දින දෙකකට පෙර හමුදා ජීප් රියකින් පැමිණි පිරිසක් ඔහුව රැගෙන ගියේ හවසට ආපසු එවනවා යැයි ගෙදර අයට පවසමිනි.මෙතෙක් කාලෙකට ගමෙන් ඔහොම ගිය එකෙක් වත් පණපිටින් ගෙදර ආවේ නැති බව දැන හුන් සාමෙල්ගේ මව වැළහින්නියක මෙන් හඬන්නට වූවාය. ජීප් රියට ගොඩවූ වහාම කිටි කිටියේම රෙදි කඩකින් දෑස බැඳ දැමූ හෙයින් තමන්ගේ ගමනාන්තයේ දිශාව පිළිබඳ හරි හැටි තේරුමක් සාමෙල්ට නොවීය. තවත් කිහිප දෙනෙකු තමන් මෙන්ම ජීප් රිය තුළ රැගෙන යන බව පමණක් ඔහුට වැටහුණි.වාහනය නැවැත්වූ පසු සීතල  සිමෙන්ති පොළවක් මතට තමන් තල්ලුකර දමනවා ඔහුට දැනුනි. දෑස් ලෙහා දැමූ සාමෙල් ඇතුළු පිරිස අඳුරු කොරිඩෝවක් දිගේ මලානික ආලෝකයක් පැතිරුණු කුඩා ශාලාවකට රැගෙන යන්නට විය. ටී 56 ගිනි අවි රැගත් හමුදාවේ යැයි සිතිය හැකි උස මහත කීප දෙනෙකු දෑස පමණක් පෙනෙන සේ හිල් විද තිබූ ගෝනියකින් මූණ වසා තිබූ අයකු සමඟ එම කාමරයේ විය. කඩමන්ඩියේ කතා වූ ගෝනි බිල්ලා සැබෑ ලෙසම සාමෙල් දැක්කේ එදාය.
අවි ගත් පුද්ගලයෝ සාමෙල් ඇතුළු පිරිස තනි පෙලකට පෝලිම් කරවීය.තමා සමඟ ගමේ ඉස්කෝලේ ඉගෙන ගෙන කැම්පස් තේරුනු සමන්තත් එතැන සිටි බව සාමෙල් දුටුවේ එවිටය.සමන්ත, සාමෙල්ගේ හොඳ මිතුරෙකි.සමන්තගේ පියා සාමෙල්ගේ පියා වැඩ කළ ගල් වලේ ලියන මහත්තයා ලෙස කටයුතු කළා සාමෙල්ට මතකය.එහෙත් දැන් ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නැත.සාමෙල්ට අවසාන වතාවට සමන්තව මුණගැහුණේ ඊයේ හවස කඩමන්ඩියේදී ය.කලබල නිසා කැම්පස් වැසූ බවක් සමන්ත තමා සමඟ පැවසූ බව යන්තමින් වගේ සාමෙල්ට මතකය. එදයින් පස්සේ සාමෙල්ට සමන්ත මුණගැසුනේ අදය.

“කියපිය බලන්න මොක්කුද මුන්ගේන් චේ ගුවේරා කාරයෝ“

එතැන සිටි අයකු ගොරහැඩි අයුරින් ගෝනි බිල්ලාගෙන් විමසන්නට විය.වඩාත් සුපරික්ෂාකාරී ලෙස පෝලිමේ සිටි සිල්ලෝම දෙස බැලූ ගෝනි බිල්ලා සාමෙල් හා සමන්තත් තවත් අයකු දෙසත් බලා හිස වැනුවේය.
ක්ෂණිකවම පිටුපසින් තමන්ගේ හිසට කුවක්කු බඳකින් පහරක් වැදෙනු පමණක් සාමෙල්ට මතකය.නැවත සිහිය ආවේ මූණට වැදුනු තද වතුර පහරක් සමඟය.දෙකකුල් හා දෙඅත් බැඳ දමා තිබෙනු සාමෙල්ට දැනුනි.

“දැං ඉතිං වමාරපිය ඔක්කොම“

මූණට එබුණු අයකු සාමෙල්ගේ මඳක් දිගට වැවුණු හිසකෙස් වලින් දැඩිව අල්ලා ප්‍රශ්නකරන්නට විය.සාමෙල්ට මෙලෝ හසරක් තේරෙන්නේ නැත.තනිකඩයකු වූ සාමෙල්ට සිහි වුයේ තම මහළු මව පමණි.තමන් නොදන්නා දෙයක් ගැන තමන් පවසන්නේ කුමක්ද යන්න සාමෙල්ට ගැටලුවකි.තමා දැන් සිටින්නේ මරණය අබිමුව යැයි සාමෙල්ට වැටහන්නට  විය.

“කියපිය හු.... කවුද තව ගමේ ඉන්න චේ ගුවේරා කාරයෝ..? තොපේ ආයුධ හංගල තියෙන්නේ කොහෙද..?“

“මං චේගුරෙක් නෙමෙයි සර්.. මං දන්න දෙයක් නෑ“ සාමෙල්ට කියන්න ලැබුනේ එපමණකි. රබර් හෝස් එකක් ඇදගත් හමුදා නිලධාරියා හති වැටෙන තුරු සාමෙල්ට පහර දී කුටියෙන් පිටව ගියේය.

රාත්‍රියේ දී දැනුන කායික වේදනාව පරයා දුක මසු මරණ බයකින් සාමෙල්ගේ මුළු සිරුරම කකියන්නට විය.යාබද කාමරයකින් හුරු පුරුදු කටහඬක් සාමෙල්ට ඇසුනේ ඒ මොහොතේදී ය.

“මැරුවත් කියන් නෑ... යකෝ... අපි සටන පාවා දෙන ජාතියේ බල්ලෝ නෙමෙයි“

පොලු පහර කීපයක් සමඟ කුණුහරුපයෙන් කෑ ගසනවා සාමෙල්ට ඇසුණි.

“තොපි හිතන්නේ මාව මැරුවයි කියලා මේ අරගලය නවතියි කියලද..? මාව අද මරපිය.. මරලා බලපියව් හෙට උදේට තොපේ මහ උන් දිනලද කියලා“

එවර කොකු තරාදියක එල්ලා තිබුණු වී ගෝනියක් බිම ඇද දමනවාට සමාන ඒත් ඊට මඳක් වැඩි හඬක් සාමෙල්ට ඇසුණි.

“ආ..හ්...“

යමෙක් උසක සිට පහලට වැටුනා හෝ ඇද දැමුවා විය යුතුය. ඒ කෑ ගැසුවේ කවුද..? සාමෙල්ට, සමන්තව සිහි විය. ‘ඔව් .. ඒ සමන්තගේ කටහඬ තමා’. සාමෙල් තමන්ටම මුමුණාගත්තේය. එදා රෑ පුරාවටම සමන්තට පහර දෙනු සාමෙල්ට ඇසුණි.
උදේ එලිය වැටෙන්නට ඔන්න මෙන්න තියා සාමෙල්ට නිඳිමතක් ආවද සිය කුටියේ දොර අරිනු හඬ ඇසී එය පහව ගියේය.

“තෝ නිදිද  වේ.. .. පුතෝ, නැගිටපිය බල්ලා“ බූට් සපත්තුවකින් පා පහරක් සාමෙල්ගේ කකුලකට වැදුණි.

“තොගෙන් අද ලොකු දෙයක් අහන්නේ නෑ.. තෝ ඊයේ මොකුත් දන්නෑ කිවුවනේ.. අද එහෙනං කියපිය සමූපකාරේ බිත්තියේ අර උඹලගේ ගාථාව ලිවුවේ කවුද කියලා“

“මොන ගාථාවද..? සර්“ සාමෙල් වේවලන හඬින් ඇසීය

“ තෝ ඒක දන්නෑ ... හිටපිය මං මතක් කරන්න“ එවර ඔහුගේ ශරීරය සිප ගත්තේ හමුදා නිලධාරියා අත තිබූ කිතුල් පොල්ලයි.

“අනේ සර් මං දන්න ගාථාවක් නෑ.. මං මොකුත් ලිව්වේ නෑ සර්... මට ගහන්න එපා“ සාමෙල් මොර දෙන්නට විය.

“ඈ බොල... සමූපකාර බිත්තියේ ‘මව්බිම නැතිනම් මරණය‘ කියලා ලිවුවේ මන් ද? යකෝ එහෙනං“ නිලධාරියාගේ රකුසු ඇස් වලින් ගිනි පුපුරන්නට විය.

“අනේ සර් මං දන්නෑ සර්.. මං ලිවුවේ නෑ“

හුස්මකට හෝ පහර දීම අතපසු නොකළ නිලධාරියා සාමෙල්ට දිගින් දිගටම පහර දෙන්නට විය.

“තොගේ යාළුවා අපිට ඊයේ රෑ මහලොකු පාට් එකක් දැම්මා.. තෝ අද කියනවා තෝත් මොකුත් දන්නෑ කියලා.. හිටපියව් අද රෑ තොපිට වෙන දේ මොකද්ද බලාපියව්“

තමා අවසාන වරට සමූපකාරයට ගියේ පෙරේදාය. ඒ ගෙදරට ඕනෑ වූ භූමිතෙල් ගැනීමට  බව සාමෙල්ට මතකය.මේ කියන අපභ්‍රංශ එකක් වත් සාමෙල්ට වැටහෙන්නේ නැත.එහෙත් තමා අද රෑ වන විට මිය යායුත්තකු බව පමණක් සාමෙල්ට වැටහෙන්නට විය.

**************

පසුදින උදෑසන වන විට හීංදෙණියේ  කනත්ත අසල බාගෙට පිච්චෙමින් තිබුණු මිනී දෙකක් ටයර් කීපයක් මත වැටී දුම් දමමින් තිබුණි. ඒ අසල වූ රිටක ‘මව්බිමට ද්‍රෝහි වූවන්ගේ ඉරණම‘ යනුවෙන් ලියවුණු දැන්වීමක් එල්ලෙන්නට විය.පඳුරක් පාමුල ටී 56 උණ්ඩ කොපු දෙකක් වැටී තිබෙනවා කිසිවකුගේ නෙත ගැටුනේ නැත.

වෙනදා මෙන් එකා දෙන්නා හීංදෙණිය සමූපකාරයට ගොඩ වෙන්නට පටන් ගත්තේය.ඊයේ ඉන්දියාවෙන් යාපනේට පරිප්පු දැමූ ආරංචිය පිළිබඳ  කඩමණ්ඩියේ කීප දෙනෙකු කතාකරන්නට විය.

“අපි මේ ගිවිසුම ඉන්දියාව එක්ක අත්සන් කරන්න තීරණය කළේ මේ රටේ පවතින ත්‍රස්තවාදී අරගලය නිමා කොරාන්ට  අරමුණු කරගෙනයි....“ සමූපකාරයේ රේඩියෝවෙන් ජනාධිපති තුමා ජාතිය අමතනවා ඇසෙන්නට විය.

සමූපකාර බිත්තියේ ‘මව්බිම නැත්නම් - මරණය‘ යනුවෙන් ලියැවුණු රතු අකුරු වලට මඳක් පහළින් තවමත් වේළුණු නැති ලැකර් වලින් ‘ඉන්දීය වඳුරු හමුදාව පන්නමු - ජේ.ආර් මරමු‘ යනුවෙන් අලුතෙන් ලියැවී තිබුණි.




Sunday, November 1, 2015






සිසු බිම ආයෙමත් ගිනි අරන්....

ත්‍රීමා, වෙනුර, නිෂ්මි, තංගදොරේ
වළෙන් නැගිටලා වරෙව්...
උඹලා අන්තිමට හෙළූ හුස්ම පොද,
අපේ උන් ආශ්වාස කරලා.
දැං උන්ගේ ලේ කකියනවා..
අරමුණේ අවසානය,
පෙනෙනතෙක් මානයට ඇවිල්ලා
වැඩිදුරක් නෑ...
එදා උඹලා මැරූ පාලකයෝ 
අදත් අපිට අවි අමෝරනවා...
නමුත් අපි බය නෑ..
අපි උඹලගේ හුස්ම පොද පපුවට අැරන් ඉවරයි...
අපිව නවත්තන්න කාටවත් බෑ...
අනාගතයක් වෙනුවෙන් මියැඳුණු උඹලගේ නමට
සාධාරණයක් කරන්න
අපි දැං ලෑස්තියි...



මෙහෙව් ජාතියක්... 
(ආගමේ සිට කුණුහරුපය දක්වා වූ විපරිනාමය)

පෝය දවසට පන්සල් යන්නැති උන්
පාට ගාගෙන හෝලි සමරනවා

කඨින පෙරහැරේ යන්න පාන්දර නැඟිටින්න බැරි උන්
මහ රෑ යක්කු ගස් නඟින ජාමෙට හැලොවින් සමරනවා

අම්මට, අප්පච්චිට දණ ගහලා වඳින්න බැරි උන්
CU Mommy... Bye Daddy කියනවා

‘ආයුබොවන්ඩ‘ කියලා අත් දෙක එකතු කරගන්න බැරි උන්
Hi... Hello කියලා අතට අත දෙනවා

අවුරුදු දාට කැවුමක්, කිරිබතක් හදාගන්න බැරි උන්
නැකතට කඩෙන් ගෙනාපු කේක් ගෙඩිය කපනවා

ගම්මඩුවක්, දෙවොල්මඬුවක් ඉවර වෙනකං බලන් ඉන්න බැරි උන්
රෑ එළිවෙනකං Musical Show බලන්න යනවා

ඇඟ වැහෙන්න හරියට සාරියක්,ඔසරියක් ඇඳගන්න බැරි උන්
බුරියයි, තන් දෙකයි, පස්සයි පේන්න බාගෙට රෙදි අඳිනවා

උදැල්ලකින් පොළව කොටාගන්න බැරි උන්
හවසට Gym එකට ගිහිල්ලා යකඩ උස්සනවා

‘අම්මට හුඩු‘ කියලා පුදුම වෙන්න ලැජ්ජා උන්
Wow කියලා මහ හයියෙන් මොර දෙනවා

සිංහලෙන් කුණුහරුපයක් කියාගන්න බැරි උන්
fuck you කියලා කෑ ගහනවා




යුගයක් එළිය කළ ප්‍රඥාලෝකයේ 'ආනන්දය'


1562 වසරේ එක්තරා දිනයක මුල්ලේරියා මහ සටන ජයගත් සිංහල සේනාව පරංගින්ගේ කොළඹ කොටුව විසුණු කිරීමට ඉදිරියට ඇදෙන්නට විය.බෙහෙවින් විඩාවට පත් සේනාවට කොළඹ කොටුවට ආසන්නයේ තැනෙක කඳවුරුලාගැනීමට සුදුසු බිමක් සෙවූ රාජසිංහ මහ රජු හට හදිසියේම මහා පුදුමයක් නෙත ගැටුණි. බොහෝ වේලාවක සිට සා පොව්වකු පසුපස පන්නා විත් වෙහෙසව සිටි සිවලකු නුදුරු තැනෙකදී එකවරම ආපසු හැරී දුවන්නට වූ අතර සා පොව්වා ජයග්‍රාහී ලෙස හිවලා පසුපස පන්නන්නට විය.මේ අරුමය පිළිබඳ නැකැත්කරුවන්ගෙන් විමසූ මහ රජු හට ලැබුනේ ආශ්වාදජනක පිළිතුරකි.‘මහරජුණි මෙතැන නියත වශයෙන්ම ජය බිමක්යැ.මෙහි වාඩි ලා උදෑසන පරංගි කොටුවට පහරදෙන සිංහල සේනාවෝ නියතවශයෙන්ම ජයගනිතැ යි‘ නැකැතියෝ රජුට පැවසීය.කඳවුරු බැඳිමට සුදුසුම බිමක් හමුවූ රජු මහත් වූ ප්‍රමෝදයෙන් තම සේනාවට මෙහි වාඩිලා ගැනීමට නියෝග කළහ. එතැන් පටන් මෙම ජය බිම‘පරණ වාඩිය‘ නමින් නම් ලද අතර වර්තමානයේ ‘ආනන්දය‘ නම් වූ හෙළයේ උත්තුංග තක්සලාව පිහිටා ඇත්තේ මෙහි ය.

කිතු වසින් 1873 මෙරට දී පැවැත්වූ පානදුරා වාදයේ විජයග්‍රාහී කිතුගොස ලෝ පතල වූයේ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මහ ස්ථවීරයන් වහන්සේ හට පිං සිදුවන්නට ය. මිෂනාරින්ගේ බලපෑම් වලටත් අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තු වලටත් පෑගී තැලී පොඩි වී සිටි ලාංකිකයන් හට පරබැමි බිඳලූ මානසිකත්වයක් ගොඩ නඟාගැනීමට පානදුරා වාදය හා පංචමහා වාදයන් වෙසෙසින් ඉවහල් විය. ධර්මපාලතුමාගේ විශිෂ්ඨ යුග මෙහෙවරත්, හික්කඩුවේ සිරි සුමංගල වැනි මහා යතිවරුන්ගේ මඟ පෙන්වීමත් එකළ සිංහල බෞද්ධයන්ට මහත් අස්වැසිල්ලක් විය. පානදුරාවාදයේ රාවය ලෝ පතල වීමේ ප්‍රතිඵලයක ලෙස ඇමරිකානු ජාතික විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇතුළු පිරිසක් මෙරටට පැමිණියේ බුදු දහමේ යතාර්ථය පිළිබඳ අවබෝධ කරගැනීමටය. බුදු දහම කෙරේ මහත් සේ පැහැදුණු ඕල්කට් තුමා දකුණේ එක්තරා විහාරස්ථානයකදී තිසරණගමනය කොට බුදුදහම වැළඳගත්තේය. එතැන් පටන් ධර්මපාලතුමන් හා එක්ව අධිරාජ්‍යවාදයෙන් පීඩාවට ලක්ව සිටි මෙරට සිංහල බෞද්ධ ජනයා ඉන් මුදවාලීම වෙනුවෙන් ඔහු කටයුතු කරන්නට විය. එකළ සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමි වූයේ මිෂනාරි අධ්‍යාපනය ලැබූවන්ට පමණි. පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සිංහල බෞද්ධයන්ට රජයේ රැකියා හිමි නොවුණි.රාජකීය,තෝමස්,ජෝසප්,පීටර්ස්,බෙනඩික්,වෙස්ලි,ජෝන්,මේරිස් වැනි මිෂනාරි පාඨශාලා බොහෝ ප්‍රදේශ වල පල්ලි කේන්ද්‍ර කරගනිමින් බිහි විය.බෞද්ධ දරුවන් හට රජයේ අධ්‍යාපනය ලැබීමේ වරම් හිමි නොවීය. මේ පිළබඳ සැලකිලිමත් වූ ඕල්කට්තුමා හා ධර්මපාලතුමා සිංහල බෞද්ධ දරුවන් හට අධ්‍යාපන ආයතනයක් පිහිටවිය යුතු බවට තීරණය කළෝය.ඒ අනුව 1886 නොවැම්බර් මස 01 දා කොළඹ පිටකොටුවේ මැලිබන් හරස් වීදියේ එක්තරා ස්ථානයක දී ‘බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව‘ පිහිටුවනු ලැබීය. පසුකාලීනව ආනන්දය ලෙස වඩා වර්ධනය වන්නේ මේ කුඩා අධ්‍යාපන ආයතනයයි.

මෙම විදුහලේ පළමු විදුහල්පතිවරයා වූයේ ලෙට් බීටර් මැතිඳුන්ය.එතුමා උපතින් බෞද්ධයකු නොවුනත් ඒ වන විට ‘පරචිත්ත විජානන ඥාණය‘ පවා උපදවාගෙන සිටි අධ්‍යාත්මිකව වඩාත් ශක්තිමත් බෞද්ධයකු විය. දරුවන්ගේ නාමලේඛණය සැකසීමේදී මුල්ම නම ලෙස සඳහන් වූ ‘ජිනරජදාස‘ යන නමෙහි යම් විශේෂත්වයක් දුටු මෙතුමා එම දරුවා කැඳවා මඳක් භාවනාවට සමවැදී තම ඥාණයෙන් දරුවාගේ අතීත භවය විපරම් කර බැලීය. මහත් පුදුමයකි. මේ තමා ඉදිරියේ සිටගෙන සිටින කුඩා දරුවා පෙර එක් භවයකදී බුදුරජාණන් වහන්සේගෙන් ඡත්ත මානවක ගාථා අසා දෙව්ලොව උපත ලද ඡත්ත මානවකයාව ඉපිද සිටි බවට බීටර් මැතිඳුන්ට වැටහුණි.මේ සිද්ධිය පදනම් කරගනිමින් එතැන් පටන් පාසැල නිමවී නිවෙස් බලා යන දරුවන් හට ‘ඡත්ත මානවක ගාථා‘ ගායනා කොට පාසලින් පිටවීමට නියම කරන ලදී. අද වනතුරු ඡත්ත මානවක පරපුරකින් පැවතෙන ආනන්දීය සිසු කැළ සිය පාසැලින් පිටව යන්නේ මෙම ගාථාත්‍රය ගැයීමෙන් අනතුරුවය. ආනන්දයේ ආභාෂය ලැබූ ලක්දිව බොහෝ පාසල් වල සිසු පිරිවරද මෙම ඡ්ත්ත මානවක ගාථා පාසැල නිමවී ගායනා කරනු ලබයි.

ක්‍රමයෙන් සිසු ගහනය වර්ධනය වත්ම පාසලට සුදුසු නව බිමිකඩක අවශ්‍යතාවය ඉස්මතුවිය.සතෙන් සතය එකතු කර හෝ පාසලට අවශ්‍ය නව බිමක් මිලට ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට සිංහල බෞද්ධ සිසු දරුවෝ ගෙයක් ගෙයක් පාසා ඇවිදින්නට විය.මේ බව සැළවුණු වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ නම් වූ සැදැහැති සිංහල බෞද්ධ දානපතියා මරදානේ පිහිටි තමාට අයත් වූ ‘පරණවාඩිය‘ නම් ජය භූමිය සිංහල බෞද්ධ පාඨශාලාව වෙනුවෙන් පරිත්‍යාග කළේය. මෙතැන පිහිටවූ නව විදුහලට යෙදිය යුතු නම කුමක්ද යන්න යෝජනා කිරීමේදී ධර්මපාලතුමන් විසින් ඊට ‘ගුණානන්ද‘ විදුහල යනුවෙන් නම් තබමු යැයි යෝජනා කළ අතර එය ප්‍රතික්ෂේප කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් තම නාමය වෙනුවට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන් ගේ නාමය සුදුසු යැයි යෝජනා කල අතර එය ස්ථිර විය. ඒ වන තුරු ඉංග්‍රීසි සිංහල  බෞද්ධ පාඨශාලාව ලෙස හැඳින් වූ  මෙම විදුහල එතැන් පටන් මෙරට සිංහළ බෞද්ධ අධ්‍යාපනයේ මුඳුන් මල්කඩ බඳු වූ ‘ආනන්ද මහා විදුහල‘ ලෙස නම් කෙරුණි.

ආනන්දය ක්‍රමයෙන් සුවිශාලවත්ම ස්වකීය සහෝදර පාසල් ජාලයක් ලක්දිව පුරා ව්‍යාප්ත කරන්නට විය. නාලන්දාව, ධර්මරාජය, මලියදේවය, රාහුලය හා මහින්දය ඒ අතර කීපයක් විය. ආන්නදයේ ආභාෂය ලැබ සිංහල බෞද්ධ දැරියන් වෙනුවෙන් මියුසියස්, විශාඛා, ආනන්ද බාලිකා, අනුලා හා දේවි බාලිකා වැනි කාන්තා පාසල් ද පසුකාලීනව බිහි විය. ආනන්දය නම් වූ මහා වෘක්ෂයේ පරිවාර ශාඛා වූ මේ පාසැල් අද ලක් ධරණි තලය තුළ විදග්ධ බුද්ධිමතුන් බිහි කරන්නා වූ මහා නැණ කෝෂඨාඝාරයන් වී හමාරය.

එවන් වූ සුවර්ණිත, අභිමානවත් අතීතයකට හිමිකම් කියන්නා වූ ආනන්දය මෙරට සිංහල බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙසටත් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම පාඨශාලාවන් අතුරින් ප්‍රමුඛස්ථානයේත්  මහා පහන්ටැඹක් ලෙස නැඟී සිටින්නේය.

 ආනන්දය ජයග්‍රහණයේ කෙම් බිමකි. එබැවින් මව්බිමේ කිතුගොස නැංවූ ක්‍රීඩකයින්ගේද.. මව්බිමේ ඉරණම රැකදුන් රණවිරුවන්ගේද.. මවිබිමේ අනුහස් පෙන්වූ මහා විදුනැණැතින්ගේද.. මව්බිම හෙබවූ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේද.. උපන් බිමට ණය නැති සුවහසක් අනඳ පුතුන්ගේද දිවි මඟට අත පොත් තැබූ ආනන්ද මාතාවෝ, ඕතොමෝ හට ණය ගැති වූ ලක්වාසී සැමගේ ගරු බුහුමන් ලැබ චිරාත් කාලයක් වැජඹෙන්නීය...!

චිරං ජයතු ආනන්ද මාතා..!
Match බලන්නම උපන් ජාතිය ...

මුලින්ම ක්‍රිකට්
ඊට පස්සේ රගර්
ඒක ඉවර වෙනකොට ෆුට්බෝල්
ඒකෙන් පස්සේ වොලිබෝල්
ඊළඟට බාස්කට්බෝල්
ඔය අස්සේ ඔලිම්පික් ආවොත් ඒක
ආයෙමත් ක්‍රිකට්

දිනන උන්ට සල්ලි
බලන උන්ට හුලං
අන්තිමට ෆයිනල් ඇවිල්ලා තියෙන්නේ
වෙන රටවල් දෙකක්

මේකට කියන්නේ ක්‍රීඩාශීලීත්වය ලු
නෑ... යකෝ
ඕකට කියන්නේ 
කාලකණ්ණිකම
රටට හෙණ ගැහුණත්
පස්සපැත්ත පුටුවේ අලෝගෙන
රූපපෙට්ටිය දිහා බලං ඉන්න එක
ක්‍රීඩාශීලීත්වය ද..? බොල