Thursday, February 4, 2016

නිදහසේ හිතමු...

හැම පෙබරවාදි 04දාම අපි නිදහස් දිනය මහ උජාරුවෙන් සමරනවා. ටිකක් හිතමු.48‘ අපි සුද්දගෙන් නිදහස ලබාගන්න කොට, සුද්දා අපිට දීලා ගිය දේවල් ටිකක් තියෙනවා. තේ, රබර්, පාරවල්, කෝච්චිය, ගුවන්තොටුපල, වරාය, පක්ෂ දේශපාලනය,ලිබරල් ආර්ථික රටාව..... ඒ වගේම සුද්දා අපිට නැතිකරලා ගිය දේවල් ගොඩක් තියෙනවා ස්වයං පෝෂිත ආර්ථිකය, කෘෂිකර්මාන්තය,සංස්කෘතිය, ජාතියක් විදිහට නැගිටින්නට තිබුණු ශක්තිය.... සුද්දගෙන් අපට ලැබුනු දේට වඩා අපෙන් උදුරගත්ත දේ බර වැඩියි.
කොහොමහරි, නිදහස ගන්නකොට ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් අපිට තිබුණා. අපේ ආර්ථිකය දෙවැනි උනේ ජපානෙට විතරයි. ඒ වෙනකොට අපි තමයි දකුණු ආසියාවේ ආර්ථික බලවතා. ඒ කාලේ ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළේ මේ කොනේ ඉඳං මලබාර් වෙරළේ එහා කොන වෙනකන් හැම වරායකින්ම අවුරුද්දකට උපයාගත්ත මුළු ආදායමට වඩා අපේ කොළඹ වරායෙන් එක මාසෙක උපයපු ආදායම වැඩියි. හිතාගනන පුළුවන්ද..? අපි එදා හිටපු තත්ත්වය. අද අපි ඉන්නේ කොතනද..?
කවුරුහරි ලෝකේ මැව්ව නම් ඒ මවපු කෙනා ලංකාව මවලා තියෙන්නේ හරි අපූරු තැනක. ලංකාවේ පස හරිම සාරවත්. අරිය ජලවහන පද්ධතියක් තියෙන සරුසාර රටක්. වටේම මුහුද. ලෝකේ බටහිර ඉඳං නැගනහිර වෙනකං යා කරන මුහුදු මාර්ග වලට වැදගත් තිප්පොලක්. ඉතිං මේ පිහිටීම රටක් හැටියට අපිට බොහෝමවැදගත්. නමුත් අපි ඒ පිහිටීමෙන් අපේ රටේ සම්පත් වලින් හරියට වැඩක් අරන් තියෙනවද..? නෑ..! ඒක තමයි ඇත්ත.
අපේ දෙමව්පියෝ උපදිනකොටත් අපේ රට දියුණුවෙමින් තිබුණේ. තාමත් අපේ රට දියුණු වෙනගමන් තමයි තියෙන්නේ.දියුණු වෙනවා; දියුණු වෙනවා; දියුණු වෙනවා ඉවරයක් නෑ. කවදද අපි ඇත්ටම දියුණු වෙන්නේ..? අපි නිදහස ගන්නකොට සිංගප්පූරුව කියලා රටක් තිබුණේ නෑ. නමුත් අද ඒක ලෝකේ ආයෝජනය සඳහා සුදුසු අංක 1 වාණිජ නගරය. 1959 දී ලංකාවට ආපු සිංගප්පූරුවේ පළමුඅගමැති වුණු ලී ක්වාන් යූ මහත්තයා එහේ ගිහින් කිවුවලු “මම මේ රට කවදා හරි කොළඹ නගරය වගේ කරනවා“ කියලා. 1978 එහේ ගිහින් ආපු ජේ.ආර් ජයවර්ධන මහත්තයා කිවුවලු “මම මේ රට කවදාහරි සිංගප්පූරුවක් කරනවා“ කියලා. ලී ක්වාන් යූ මහත්තයා තමන්ගේ ස්වංලිඛිත චරිතාපදානයේ සඳහන්කරලා තියෙනවා “අපි උදුරගත්තේ ලංකාවේ සංවර්ධනය“ කියලා. ඉතිං අපේ සංවර්ධනය අපිට අහිමි වෙච්ච එකට වගකියන්න ඕනේ කවුද..? අපේ රටේ හිටපු පාලකයන්ගේඅදූරදර්ශී තීරණ තමයි එදා ඉඳං අද වෙනකන් අපේ රට එකතැන පල්වෙන්න හේතු වෙලා තියෙන්නේ.රට ගැන හිතන්නේ නැති උනාට බඩ ගැන හිතන මිනිස්සු බහුතරයක් ඉන්න රටක පාලකයන්නට තමන්ගේ හිතුමනාපෙට තමන්ට උවමනා විදිහට රට ගෙනියන්න ඕනෑතරම් ඉඩ තියෙනවා. කාලෙකදි ඇට අට, තවත් කාලෙකදි 3.50ට පාන්, මේ වගේ පුහු පොරොන්දු වලට රැවටිලා තමයි අපේ මිනිස්සු පාලකයන් පත් කරගත්තේ.
නිදහස දිනාගෙන අවුරුදු 10ක් ගතවෙන්න කලින් සිංහල, දෙමළ භාෂා ගැටලුව ආවා. ඒක ඕපපාතිකව පහළ උන දෙයක්නෙමෙයි. සිංහල, දෙමළ නායකයන්ගේ අමන වැඩ හින්දා ඇතිවුණ දෙයක්. කාලකණ්නි බඩගොස්තරවාදී දේශපාලකයන්ගේ උවමනා එපාකම් පිරිමහන්න ගිහින් අනිතිමේ දී දහස්ගණනනක් එකම රටේ මිනිස්සු දෙපිලකට බෙදිලා මිනීමරාගත්තා. ඊටපස්සේ වෙනම රටක් ඕනේ කියලා අවුරදු 30ක් යුද්ද කළා. අන්තිමේ යුද්දේ ඉවර උනාට දිනපු කෙනෙක් නෑ. තවමත් ඒ තුවාලේ පැසවනවා. හොඳකරගන්න උත්සහ කරනවා වෙනුවට තව තවත් එ්ක පාරව ගන්නවා.
ඔය අතරේ 71‘ දීත් 89‘ දීත් ලංකාවේ තරුණ අරගල 2ක් ඇතිවුණා. කොහොමහරි ඒ අරගල යටපත් කරන්න පාලකයන්ට පුළුවන් උනා. නමුත් එදා ඒ අරගල ඇති උනේ ඇයි..? ඒ අරගල කිරීමෙන් බලාපොරොත්තු උනේ මොනවද..? කියලා කවුරුවත් කාගෙන්වත් ඇහුවේ නෑ. ලක්ෂයකට වඩා තරුණ ජීවිත මේ අරගල දෙකේදිම රටට නැති උනා. එදා ඒ අරගල යටපත් කළා ඇරෙන්න ඒවා ඇතිවුනු මූලබීජයන් මෙනවද කියන්න කවුරුත් අඳුනගත්තේ නෑ.
අපේ රටේ සාක්ෂරතාවය 98%යි. ඒක දකුණු ආසියාවේ ඉහළම අගය. සේවා නියුක්තියත් දකුණු ආසියාවේ අනිත් රටවලට වඩා ඉහළයි. නමුත් අපේ එක පුද්ගල ආදායම, ආර්ථික වර්ධන වේගය, දළ ජාතික නිෂ්පාදිතය දකුණුආසියාවේ ගොඩක් රටවලට වඩා අඩුයි. ඒ ඇයි..? නිදහස ලබාගන්න කොට දකුණු ආසියාවේ ශක්තිමත්ම ආරථිකය තිබුන රට දැන් දුර්වල වෙන්න හේතු මොනවාද..? අංක එක, මේ දේශපාලන රටාව. එදාවේල හම්බකරගන්න උත්සහකරන ජනතාවකුත් ඒකටම හරියන බඩගොස්තරවාදී දේශපාලන නායකයන් පිරිසකුත් ඉන්න අපේ රටේ කාලෙන් කාලෙට එන ඡන්ද නිකන් මූණුමාරු කරන සෙල්ලමක් විතරයි. එක එක ආණ්ඩුවල බොරු සෝබන වැඩ ඇරෙන්න පොදු දේශපාලන ආකෘතියක් කවුරුත්ම අනුගමනය කරන්නේ නෑ. හොඳට බැලුවොත් නිදහසෙන් පස්සේ අපේ රටේ පාලනය මාරු වෙලා තියෙන්නේ පවුල් කීපයක් අතර. 72‘ ත් 78‘ ත් රටේ මූලික නීතිය ඉන්න පාලකයන් තමන්ට ඕනේ විදහට වෙනස් කරගත්තා ඇරෙන්න රටට ඕනේ විදිහට යමක් කළාද කියන එක සැකයි. මේ ගඳගහන දේශපාලන රටාව වෙනස් නොකර කිසිදෙයක් කරන්න බෑ.
දෙවැනි කාරණය තමයි මේ රටේ නිශ්චිත ආර්ථික මූලෝපායක් නැති එක. 70‘ ආනයන ආදේශක සංවෘත අර්ථිකයක් අත්හදා බැලුවා.අසාර්ථකයි. 78‘ අපනයන අභිමුඛ විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. පේන්න තරම් සාධනීය බවක් නෑ. අපේ රටේ විදේශ විනිමය උපයන මූලික ආකාර 3 තමයි ඇඟළුම් කර්මාන්තය, විදේශ සේවා නියුක්තිය හා තේ. සේවා නියුක්තියෙන් වැඩි කොටසක් නුපුහුණු අය. නමුත් අද වන විට අපිට වඩා ලාභදායි ආයෝජන පරිසරයක් වියට්නාමය, බංගලාදේශය, ඉන්දියාව වගේ රටවල පවතිනවා. ඒ නිසා අපේ රටට ආපු ආයෝජකයන් බුරුතුපිටින් තමන්ගේ ආයෝජන ඒ රටවලට ගෙනියනවා. අපේ පවතින ආර්ථික රටාව තිරසාර නෑ. නවෝත්පාදනය සිදුවෙන්නේම නැතිතරම්. උගත් ඉහළ නිපුණතාවයක් ඇති දේශිය වෘත්තියවේදීන් රටහැර යනවා. බුද්ධිගලනය නවත්වන්න විකල්පයක් නෑ. ඒ වගේම අපේ රටේ ආදායම් බෙදීයාමේ ලොකු ගැටළුවක් තියෙනවා. රටේ ජනගහනයෙන් 70%ට බෙදෙන්නේ ජාතික ආදායමෙන් 30%ක් විතරයි. මේ යන පීල්ල අමාරුවෙන් හරි වෙනස් කලේ නැති උනොත් අපේ ආර්ථිකය යන්නේ අගාධයට. මේ ගැටළුවලට විසඳුමක් හොයන්නේ නැතුව ආර්ථිකය හදන්න බෑ.එක එක කාලෙට එක එක මොඩල් වලට රට ගෙනියන්න හැදුවා මිසක් අපිට ගැලපෙනඅපේ ආකෘතියක් කවුරුත් අත්හදාබැලුවේ නෑ. එහෙම කරන්න උවමනාවකුත් නෑ.
තුන්වෙනි සාධකය තමයි පවතින සමාජ රටාව. අපේ රටේ තියෙන්නේ අනුකරණ සමාජ රටාවක්. ස්වාධින චින්තනයකට හුරුවෙලා නෑ. එක එක රැලි පස්සේ එක එක කාල වලදී ගහගෙන යනවා. “අපිට මෙකෝ...“ “අපිට වැඩක් නෑ ඕවා...“ “ඕක කරනන් පුළුවන් කාටද..?“ මේ වගේ පසුගාමී අදහස්වල එල්ලිලා ඉන්න පරාධීන චින්තනයක් තමයි මේ සමාජ රටාව තුළ අපේ මිනිස්සුන්ට තියෙන්නේ. නමුත් හැම තැනම තරඟය. ඉගෙනීම, බෙහෙත්-හේත්, ඇඳුම්, රස්සාව මේ හැදෙයක්ම කරන්නේ තරඟෙට. මේ තරඟයට මුලික හේතුව පවතින නව ලිබරල් ආර්ථික රටාව. ආත්මාරථකාමී, සාරධර්ම නැති, සංස්කෘතියක් නොහඳුනන රොබෝවරු පිරිසක් තමයි මේ සමාජ රටාව තුල ජීවත් වෙන්නේ.
ඇත්තටම අපි තවමත් නිදහස් නෑ... මේ සමාජ, දේශපාලන, ආර්ථික රටාව තුල අපි අපි විසින්ම විලංගු දමාගත්ත වහල්ලු විතරයි. ඒ විලංගු බිඳින්න පුළුවන් අපිටම විතරක් බව අපි තාම දන්නේ නෑ. එහෙම හිතන්න තරම් ස්වාධීන චින්තනයක් අපිට නෑ. අපි අතීතකාමයෙන් ඇස් අන්ධකරගෙන නිසා අනාගතයට යන පාර පේන්නේ නෑ. අපි අපේ අත්වල තියෙන විලංගු පාට කරගෙන මේ පවතින රටාවට බැණ බැණ ඔහේ ඉන්නවා විතරයි. නමුත් ඒක වෙනස් කරනන් උත්සහ කරන්නේ නෑ.

නිදහසේ හිතන්න පුරුදුවුන දාට නිදහස උදාවේවි..!