Thursday, August 4, 2016

මේ තරම් සියුමැලිද කළු ගල්

රජී වසන්නත ලියපු මේ ගීතය සංගීතවත් කරන්නේ කිහිපවතාවක්ම රාජ්‍ය සම්මාන දිනාගත් රජරටින් බිහිවුණු දක්ෂ සංගීතවේදියෙක්. ඔහු දර්ශන රුවන් දිසානායක. 
රජී ගේ හා දර්ශනගේ සුසංයෝගය බිහිදොරින් එළිබසින්නේ ප්‍රවීණ සංගීතවේදී සුනිල් එදිරිසිංහයන්ගේ හඬමුසුවත් සමඟයි.

..................................................


මේ තරම් සියුමැලිද කළු ගල්

හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්


දෑස් දුන් මිනිසා සොයා //


කලා වැව ලඟ ඉලුක් හෙවනක


මැටි පිලක පැදුරක් එලා


රිදුම් පිරිමදිමින් බලයි ඔහු


මැරෙන ඉපදෙන රළ දිහා


ඉසුරුමුණියේ නුඹ තැනූ


පෙම්බරිය කොතැනද කියා


මා ඇසූ විට හිනැහුණා ඔහු


තවම තනිකඩයැයි කියා //


........................................................

රජී හැමවිටම තොරාගන්නේ පීඩයෙන් මිරිකෙන සමාජයේ සැඟවුනූ තේමාපාඨ. පහුගිය දවසක ශිෂ්‍ය සංගමය සංවිධානය කරපු වැඩසටහනකට නීති පීඨයට ආපු ‘රජී ‘ කිව්වේ, තමන්ගේ ජීවත අත්දැකීම,තමන්ගේ පංතිය තමන්ගේ සෑම නිර්මාණයක් තුළම ගැබ්වෙලා තියෙනවා කියලයි. මේ ගීතයටත් ඔහු ප්‍රස්තුත කරගෙන තියෙන්නේ ගල්වඩුවෙක්. බුදුන්ටත් දෑස් දුන් මේ ගල්වඩුවා තවමත් ඉලුක් ගෙපැලක තනිකමින් සුසුම්ලන්නේ හුදෙකලාවෙන්. ඇත්තටම මේ ගල්වඩුවා ගැන දන්නේ කවුද..? වචනයෙන් වචනය විග්‍රහ කරනවට වඩා සමස්ත ගීතයේම අරමුණ අපි තේරුම්ගත යුතුයි. අපි පොඩ්ඩක් හිතමු. රුවන්වැලි සෑය හැදුවේ කවුද? පරාක්‍රම සමුද්‍රය හැදුවේ කවුද? කියලා කවුරුහරි අපෙන් ඇහුවොත් අපි කියන්නේ යුගයන් දෙකකදී මේ රටේ රජකරපු රජවරු දෙන්නෙක්ගේ නම්. තවත් වෙලාවකදී කවුරු හරි ඇහුවොත් ගල්ඔය කළේ කවුද? මහවැලිය කළේ කවුද? අපිට මතක් වෙන්නේ නිදහසින් පස්සේ අපේ රටේ බිහිවෙච්ච දේශපාලඥයෝ දෙන්නෙක්ගේ නම්. නමුත් කවුරුවත් හරියටම දන්නේ නෑ, මේවගේ නිර්මාණ කරන්න දායක වුණ කම්කරුවෙකුගේ එක නමක්වත්. අඩුමතරමේ ඔවුන් ගැන මතකෙටවත් එන්නේ නැති තරමි. නමුත් පාලකයන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න කොයිතරම් නම් කම්කරුවෝ පිරිසක් තමන්ගේ දහඩිය, ලේ වගුරන්න ඇතිද? නමුත් ඔවුන්ට සාධාරණයක් ඉටුවුණාද? අඥාත නිර්මාණකරුවන් දහස් ගණනක් තමන්ගේ ශ්‍රමය අඩු ලංසුවකට මිල කරන්න ඇති. නමුත් ඉතිහාසය රඳවාගන්නේ පාලකයන්ගේ නම් පමණයි. ‘තක්ෂිලා ස්වර්ණමාලි‘ ලියපු ‘ටකරං සහ වඩිම්බු‘ කියන කෙටිකතා සංග්‍රහයේ එක් කෙටිකතාවක් තමයි ‘ඉස්කෝලේ මහත්තයා නටබුන් වලට ඇහෙන්න කෑ ගැහුවා‘. ඒ කෙටිකතාවේ තැනක මෙහෙම ලියල තියෙනවා “ රජාලා හදපු කෙංගෙඩියක් නෑ. ඕව හැදුවේ අපේ උං. හදාපු උං ගේ අත් කැපුවා. ඇස් පොට්ට කළා. එව්වංගේ නම් ඉතිහාසේ ලියෝගෙන අපේ උං මැරුවා. යකෝ නාහෙන් බේරෙන වතුර බිංදුව මාපටැඟිල්ලට වැටෙන්න පතාක පිළිම හැදුවේ තොපි නෙමෙයි අපි“ ‘රජී‘ එතරම් ආවේගශීලී නොවුනත් තමන්ගේ ගේයපද රචනයට අනුභූතිය කරගන්නේ ‘ස්වර්ණමාලි‘ ලියපු කෙටිකතාවේ අනුභූතියමයි. ‘ටෙනිසන් පෙරේරා‘ විසින් රචිත ‘දැතිරෝදෙන් උපන් බුදුන්‘ ග්‍රන්ථයට පාදක වන්නේ කාර්මික සමාජ විප්ලවයක්. නමුත් රජය විසින් මේ පොත තහනමට ලක්කරන්නේ ඉන් බුදුන්වහන්සේට අපහාසයක් වුණු බව දක්වමින්. නමුත් ග්‍රන්ථය තහනම් කිරීම පසුපස තිබුණේ සැබෑ දේශපාලනික උවමනාවක්. ‘රජී ‘ ලියපු මේ ගීතය තුළත් බුදුන්ට දෑස් දීමට ගල්වඩුවා සමත්වීම තුළ පෙන්වන්නේ කම්කරුවා බුදුන්ටත් වඩා උසස් යැයි පැවසීමද? යන්න යමෙකුට ප්‍රශ්න කළ හැකිය. ඒ ප්‍රශ්නයේ වරදක් නැ. බෞද්ධ සංස්කෘතිය තුළ උත්තම පෞර්ෂ්‍යත්වය බුදුන්වහන්සේ වන විට ඊටත් එහා ගිය පෞර්ෂ්‍යත්වයක් කම්කරුවාට ආරෝපණය කිරීමට ‘රජී‘ උත්සහ කරන්න ඇති. රජී මෙතන ගල්වඩුවෙකුට සංක්ෂිප්ත කරන්නේ සමස්ත වැඩකරන පංතියේ ජනතාව වන බව මගේ අදහසයි. ඒ අනුව වැඩකරන පංතිය අසහාය ලෝකෝත්තර විමුක්තිදායකයකු හා සම කිරීම තුළ හෝ ඉන් එහා ගිය ගෞරවයක් ලබා දීම තුළ අතීතයේ සිටම කම්කරුවාට සිදුවුණු අසාධාරණය අස්වැසීමට රචකයා යම් උත්සහයක් දරා ඇතැයි යන්න සිතිය හැකිය.


No comments:

Post a Comment