Saturday, October 31, 2015


අරුම පුදුම කොළඹ 7....

තේ බොන්නට කඩයක් නැති, කොළඹ 7
KFC, pizza ඇති,කොළඹ 7
රෙදි නැතිවත් පාරේ යන, කොළඹ 7
අහස උසට රෙදිකඩ ඇති,කොළඹ 7
බුලත් විටක් ගන්නට නැති, කොළඹ 7
ටොපි කොළ නං පාර පුරා, කොළඹ 7
හුස්මක් කටක් ගන්නට බැරි, කොළඹ 7
දවස පුරා දුම් නඟිනා, කොළඹ 7
ගෙදර දොරේ වැඩපල නැති, කොළඹ 7
උදේ හවස gym පිරිලා, කොළඹ 7
Hi... CU.. bye.. WoW, කොළඹ 7
ගමෙන් ආපු මට හොල්මං, කොළඹ 7






ඇඩ්‍රස් නෑ..

ඇඩ්‍රස් නැති සමාජ පංතියක් ගැන ‘ජැක්සන්‘ කියන කතාව.. තවත් එක් සුවිශේෂී සිනමා නිර්මාණයක්..සමාජය හරස්ප්‍රශ්න කරන අමුතුම ආකාරයේ චිත්‍රපටයක්..

ඇඩ්‍රස් නෑ..
ගායනය - ගයාන් පෙරේරා
පදරචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචාර්ය රොහණ වීරසිංහ
අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනී



මේ බජාර් එකට මල්ලී
අහසත් නෑ.. පොළවත් නෑ..
අහසත් පොළවත් නෑ..
ඇඩ්‍රස් නෑ..

පට්ට පොරවල් නෝන්ඩි වෙනවා
සිරා කරාලා චාටර් වෙනවා
නඩු තීන්දු යම රජ්ජුරුවන්ගේ
ඇඩ්‍රස් නෑ..

පොට් එක හිට් නං වැඩකිඩ බොක්කෙං
අද ආතල් නං හෙට චොර වෙද්දෙං
පජාති උන දා
හෙනහුරා වැටෙනවා හිඟන පාත්තරේ
ඇඩ්‍රස් නෑ..

කුණු කඳුවල රජ බොජුන් හොයනවා..
කුජීත රජදරුවෝ
වෘකයෝ බැටළු හම පොරවා
බළලුන් ලව්වා කොස් ඇට බාවනවා
ඇඩ්‍රස් නෑ..

දුප්පත් එකාට ඇත්තටම ඇඩ්‍රස් නෑ. අහසත් පොළවත් ඇරුණාම උන්ගේ කියලා උන්ට තියෙන්නේ මොකද්ද..?.
කවදහරි දවසක යම රජ්ජුරුවෝ තීන්දුව දෙන දාට තමයි මෙහෙ හිටපු පට්ට පොරවල් එහෙදි නොන්ඩි වෙන්නේ.  අන්න එදාට උන්ට ඇඩ්‍රස් නෑ. 
එදා වේල රෝලක් යන උන්ට අද ආතල් නං හෙට චොර උනාම මොකෝ..! හැබැයි කවදා හරි වැඩේ ගැස්සිලා පජාත උන දාට තමයි හිඟන්නගේ පාත්තරේට හෙනහුරා කඩාපාත් වෙන්නේ. අන්න එදාට ඉතිං ඇඩ්‍රස් නෑ. 
පැල්පත් මන්දිරේ උපන්න කුජීත රජදරුවෝ රසමසවුළු හොයන්නේ කුණු කඳුවල. උන්ට කොයින්ද රජ බොජුන්..? උන්ටත් ඇඩ්‍රස් නෑ.
බැටළු හම පොරවගත්ත වෘකයෝ කවදත් ඉතිං බළලුන් ලවා කොස් ඇට බාවනවා. 
හැමදාමත් වගේ අන්තිමට මේ බජාර් එකට ඇඩ්‍රස් නෑ.. මල්ලී...


Friday, October 30, 2015

මෝටර්  බයිසිකල්  “අම්මගේ මාලේ  ටවුමේ උකස් කඩේ“


කිසිම ශ්‍රැතියක් නෑ..
තාලයක් නෑ..
නමුත් අමුතුම රසයක් තියෙන ගීතයක්


පදරචනය/සංගීතය හා ගායනය - අජිත් කුමාරසිරි

චිත්‍රපටිය - මෝටර් බයිසිකල්

අධ්‍යක්ෂණය - ශමීර රංග නාඔටුන්න

කැමරාකරණය - විශ්වජිත් කරුණාරත්න

“ජීවිතේ හරියට මෝටර් බයිසිකලයක් වගේ..ඇයි..? අපිට ඕනෙ වෙලාවට ස්ටාර්ට් වෙන්නේ නැති නිසා“

'රංගන කියන්නේ තරුණ පරපුරේ දක්ෂ  දුප්පත් සංගීතකාරයෙක්.නමුත් ඔහුට ලොකු සිහින තියෙනවා. ටානියා කියන්නේ රංගනගේ ආදරවන්තිය. රංගනගේ ලොකුම ආසාව මෝටර් බයිසිකලයක් මිලට ගැනීම. අවසානයේ ඔහු එකතු කළ මුදලකින් මෝටර් බයිසිකලයක් මිලට ගන්නවා. තම පෙම්වතිය සමඟ අලුත් නිදහස් ජීවිතය තුළ සැරිසරන්න ඔහු මෝටර් බයිසිකලයට ගොඩවෙනවා...'

(2015 දකුණු ආසියානු අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටිය)





අපි රැවටුනාවත් ද...?

කෝ..?
දෙනවා කිව්ව free WiFi
අඩුකරනවා කිවුව ජීවන වියදම
වැඩිකරනවා කිවුව ආර්ථික සංවර්ධන වේගය
අධ්‍යාපනයට වෙන්කරනවා කිවුව 6%
විසඳනවා කිවුව උතුරේ මිනිසුන්ගේ ගැටළු
19න් පස්සේ ගේනවා කිවුව 20
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය
තොරතුරු දැනගැනීමේ පනත
ස්වාධීන කොමිෂන් සභා ටික
අඩු කරවා කිවුව අමාත්‍යංශ 
තේ, රබර් වලට දෙනවා කිවුව සහතික මිල
වී වලට දෙනව කිවුව නිශ්චිත මිල
හදනවා කිවුව පරිසර ප්‍රතිපත්ති
අල්ලනවා කිවුව මීනිමරුවන්,හොරුන්
රටටම හෙළිකරනවා කිවුව මහපරිමාණ දූෂණ,වංචා

ඉගුරු දීලා අපි ගත්තේ මිරිස්ද..?

මුං ඔක්කොම එකයි..
ආයේ පාරක් අපි රැවටුනා විතරයි..!


තේරෙන්නේ නෑ.. ඇයි බං ඒ...?



හෙම්බිරිස්සාවක්, කැස්සක් හැදුනොත් කොත්තමල්ලි,පාවට්ටා තම්බලා බොන අපිට....ඇඟේපතේ අමාරුවකට වෙනිවැල්ගැට තම්බලා බිව්වයි කියලා අවුලක් වුනේ නෑ...දවස් දෙන තුනක් උණ අල්ලලා හිටියොත් විතරක් ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්ත අපිට...දෙයියනේ කියලා සනීප උනා බං..!
එකේ ඉඳන් පහේ පංතිය වෙනකං ගමේ ඉස්කෝලේ ඉගෙනගත්ත මං, පහේ විභාගේ පාස් වෙලා කොළඹ ඉස්කෝලෙට ගියා.... කෙහොම හරි උසස් පෙළත් පාස් වෙලා කැම්පස් ගිය මට මහපොළ ලැබුනේ නැතත් අනිත් උන්ට ඒකත් ලැබුණා... කැම්පස් එකේ තියෙන පහසුකම් වලට අපිට සල්ලි ගෙවන්න ඕනේ වෙන්නේ නෑ... යාපනේ ඉඳං මාතර වෙනකං ලංකාව හතරවටින්ම ආපු කොල්ලෝ,කෙල්ලෝ තියන හැටියට හොස්ටල් වලට ගාල් වෙලා අනිත් උන් බෝඩිං වල ඉඳං කැම්පස් එනවා...!
එහා ගෙදර කුසුමා අක්කා ගාමන්ට් ගිහිල්ලා දුක් මහන්සියෙන් හම්බකරපු සොච්චමෙන් ඒකි ගත්ත සබන් කෑල්ලටයි,ෂැම්පු පැකට් එකටයි ගහපු බදු ටිකෙනුත්...බණ්ඩයියා කුඹුරු කරලා වී ටික තුට්ටු දෙකට මුදලාලිට විකුණලා ගෙදරට ගෙනාපු මිරිස්,තුනපහ ටිකට ගහපු බදු ටිකෙනුත්...මාලා නැන්දා රට ගිහිල්ලා අවුරුදු හත අටක් තිස්සේ මෙහාට එවන සල්ලි වලිනුත්... අපේ අප්පච්චී කන්තෝරුවේ පඩිදාට ගෙදරට ගේන අඩුමකුඩුම ටිකට ගහන බදු ටිකෙනුත්... අපිට බෙහෙත් ටික ගන්න ඕනේ සල්ලි ටිකත්; අපිට ඉගෙන ගන්න යන වියදමත්; ආණ්ඩුව හොයාගත්ත බව මට තේරුණේ පස්සේ කාලෙකදී...
බෙහෙත් ගන්නයි; ඉගෙන ගන්නයි; අපිට නිකං පුළුවන් උනාට අපෙන් පස්සේ උපන්න උන්ට ඒක ටිකක් අමාරු වේගන එනවා...!
අමරේ මාමාමගේ වකුගඩු දෙකම දියවෙලා තියෙන්නේ කුඹුරට රට පොහොර ගහපු නිසාලු... අමරෙ මාමාත් කුඹුරට රට පොහොර ගැහුවේ ආණ්ඩුවෙන් ලාබෙට දුන්න නිසානේ... ගමේ බෝක්කුව උඩ හවසට වාඩි වෙලා හිටිය සිරිමලා දැං කුඩු බොනවා...මේ තාක්කාලෙකට උගෙන් ගමට කිසිම කරදරයක් උනේ නෑ.. ඒත් දැං ටික දවසකට කලින් ඌ පොලීසියට අල්ලන් ගියේ රෑ ගෙදරකට පැනලා මාට්ටු වෙලා... ඕස්ට්‍රෙලියාවේ යනවා කියලා බෝට්ටුවෙන් ගිය ජෙමා තාම ලියුමක්වත් ගමට එව්වේ නෑ... යුද්දෙට ගිහිල්ලා කකුල් දෙකම බට්ටටෙකුට ගිය රත්නේ අයියාගේ පෙන්ෂන් එක තාම හැදිලා නෑ... ජේ.වී.පී රැස්වීමකට ගිහිල්ලා එනගමං හවසක සුදු වෑන් එකක දාගෙන ගිය තුෂාර අයියා ගැන හාංකවිස්සියකවත් ආරංචියක් තාම නෑ....අධි වේගයක්ද මොකද්ද හදනවා කියලා ගමේ ලොකු නැන්නදලාගේ ඉඩං ගත්තට තාම හරියට වන්දිවත් ලැබුනේ නෑ කියලා ආං අඬ අඬා ඉන්නවා... මෙකද්ද මංදා ප්‍රයිවට් කොම්පැනියක රස්සාවකට යනවා කියලා හිටිය චාමි නංගී කොළඹ ගිහිල්ලා ඇවිල්ලා දවස දෙක තුනකට පස්සේ ගමෙන් මිසිං උනා... ටික කාලෙකකට කලිං මහ රෑ ඩිෆෙන්ඩර් වලින් ඇවිල්ලා නිධං හාරලා විනාස කරපු ගමේ පංසලේ විහාර ගේ හදාගන්න දායක සභාවට සල්ලිත් නෑ...පහුගිය ආණ්ඩුවෙනුත් ඉල්ලීම් ඉල්ලන්න ගිහින් ගුටිකාපු කැම්පස් එකේ චාමින්ද අයියා දෙවෙනි පාරත් රිමාන්ඩ් කලේ මේ ආණ්ඩුවෙනුත් ඉල්ලීම් ඉල්ලන්න ගිහිල්ලා හොඳටම ගුටිත් කාලා...තොරතුරු දැනගැනීමේ පනතක්ද මොකද්ද එනවා කියලා මහ සද්දෙන් කෑ ගැහුවට තාමත් පේන තෙක් මානෙක එහෙම එකක් නෑ...ඖෂධ ප්‍රතිපත්තියක් හැදුවට අලියෙක් තරමට තටමලා වදලා තියෙන්නේ මී පැටියෙක්..ජිනීවා පෙන්න පෙන්න දෙපැත්තෙම උන් තමන්ට ළකුණු දාගන්න දඟලනව මිසක් ඔය යෝජනාවේ තියෙන එක අකුරක්වත් අපි තාම දන්නේ නෑ..
ඔය අස්සේ ජනාධිපති මාරු උනා.. ආණ්ඩු පෙරළුනා ඒත් රටේ මහලොකු වෙනසක් නෑනේ...බං...!
ඒ... ඇයි බං ඒ...???



 Ciao...

ඉතාලියට සංක්‍රමණය වීමට සැරසෙන තරුණයක් දෙදෙනෙකු වටා ගෙතුණු සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වූ තේමාවක් සහිත කෙටි චිත්‍රපටයකි.සමාජ ගැටලුවක් මැනවින් විග්‍රහ කිරීමට ගෙන ඇති සාර්ථක උත්සහයක් ලෙස ඉල්හාම් හුසෙයින් ගේ මෙම කෙටි චිත්‍රපටය හැඳින්විය හැක.
ලාංකික සමාජයේ මුල්බැසගෙන ඇති විරැකියාව හා ගෙතුණු තරුණ අසහනය හේතුවෙන් ජීවිත පරදුවට තබා තරුණයන් නීතිවිරෝධී ලෙස විදෙස්ගතවීමට දරණ උත්සහයත් ඒ අතරතුර ඔවුන් බොහෝ දෙනෙකුට අත්වන සෝචනීය ඉරණමත් විනාඩි 16ක් හා තත්පර 16ක් තුළට කැටි කර දැක්වීමට තරම් මෙහි අධ්‍යක්ෂකවරයා දක්වා අැති දක්ෂතාවය විශිෂ්ඨය.
2012 දී ඉතාලි-ශ්‍රී ලංකා කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටිය ලෙස මෙය නම් කරනු ලැබීය. 

මගේ හිත...

සමහරු, සමහරුන්ගේ හිත හොරකම් කරනවා..
තවත් සමහරු එය බලෙන් ලබාගන්නවා..
ඇතමෙක් කොල්ලකනවා..
තවකෙක් සද්භාවයෙන් ලබාගන්නා වෙනකෙකුගේ හිතක්,
සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කරනවා..
තවත් සමහරෙක් වෙනත් අයකු ලබාදුන් හිතක් පිළිබඳ,
සාපරාධී විශ්වාසය කඩකරනවා..
හිත් වලට වෙන අපරාධ දැක්කම,
මගේ හිත,
ගිවිසුමක් නැතිව,
කාටවත් පවරන්න .
මට හිතෙන්නේ නෑ..