Friday, October 30, 2015

අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් නොවේ...


ගල් යුගයේ ඉඳන් වැඩවසම් යුගය පහුකරගෙන නූතන යුගයේ නව රාජ්‍ය බිහිවෙනකන් මානවයා පරිණාමයට ලක්කළ වැදගත්ම උපකරණය ඉගෙනීමයි. අධ්‍යාපනය මිනිහට රෙදි ඇන්දුවා, කකුල් දෙකෙන් හිටගන්න උගැන්නුවා, ගින්දර හොයන්න උදව් කළා, ගල් අඟුරු හොයල දුන්නා, පහු වෙනකොට සත් සමුදුර තරණය කරන්නත් අහස දෙබැ කරන් ඉගිලෙන්නත් මිනිහා දැනගත්තේ අධ්‍යාපනය නිසයි. ගන්න හුස්මත්,බොන වතුරත්,කන කෑමත් ඇරුණම මානවයා ගේ වටිනම වස්තුව අධ්‍යාපනයයි.

උපන්න දා ඉඳන් අපි ඉගෙන ගන්නවා.ඔව්,මැරෙන තුරාවටම අපි ඉගෙන ගන්නවා.ඇයි අපි ඉගෙන ගන්නේ..?අපිට ඉගෙන ගන්න බැරි නං අපිට ජීවත් වෙන්න බෑ.ජීවත් වෙන්න ඉගෙනගන්න,ඉගෙන ගන්න ජීවත් වෙන්න ඕනේ.ඉගෙනීම හිලව් කරන්න පුළුවන් ජීවිතේට විතරයි. ඉගෙනීමට සීමා නෑ.හැමෝම ඉගෙන ගන්නවා. පොළව එක්ක පොරබදින ගොවියත්, මහමුහුදත් එක්ක හැප්පෙන ධීවරයත්, යකඩ එක්ක ඔට්ටු වෙ කම්කරුවත්, රෙදි නැන්දත්, ගාමන්ට් එකේ අක්කත්, උසස්පෙළ කරන මල්ලිත්,කැම්පස් එකේ අයියත් මේ හැමෝම හැම වෙලේම ඉගෙන ගන්නවා. එ්ක හරියට ගන්න හුස්ම වගේ.අපි නොදැනිම හැම වෙලාවකම අපි ඉගෙන ගන්නවා.
අපිට ආණ්ඩුවෙන් උගන්නනවා.ඒත් නිකන් නෙමෙයි.අපි ගෙවන බදු සල්ලි වලට හිලව් වෙන්න. ආණ්ඩුවෙන් අපිට නොමිලේ උගන්නන නිසා මුදලාලිගේ දරුවත්,දොස්තර නෝනගේ දරුවත්,පෙරකොදෝරු මහත්තයගේ දරුවත්,ගොවියගේ,ධීවරයගේ,කම්කරුවගේ දරුවනුත් එක්ක එක පංතියේ එකට වෙනසක් නැතුව ඉගෙන ගන්නවා.ඔව් කිසි වෙනසක් නැතුව.ඒත් මේ අධ්‍යාපනය විකුණුවා නං ඒක තමන්ගේ දරුවන්ට ඇරන් දෙන්න පුළුවන් වෙන්නේ මුදලාලිටයි, දොස්තරටයි, පෙරකොදොරුවටයි විතරයි.ගොවියටත්,ධීවරයටත්,කම්කරුවටත් සල්ලි දීලා අධ්‍යාපනය තමන්ගේ දරුවට අරන් දෙන්න තරම් වත්කමක් නෑ.
නිදහස් අධ්‍යාපනය නිතරම මිනිසුන් අතර සමානාත්මතාවය රකිනවා.ඒනිසා නිදහස් අධ්‍යාපනය හැමෝටම උරුම විය යුතු දෙයක්.අධ්‍යාපන ලැබීම අයිතියක් වෙන්නේ ඒ නිසයි.දුප්පත් උනත් දක්ෂ දරුවෝ රටේ අනාගතය බාර ගතයුතු විද්වතුන් වන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි.එත් අධ්‍යාපනය විකුණනවා නං, ඒක මිලට ගන්න පුළුවන් උන් විතරක් ඉගෙන ගනීවි. උන් මොනතරම් අදක්ෂයෝ උනත් රටේ ඉහළ තනතුරු වලට යාවි. ගිහින් රට වනසාවි. මේක තමයි කටුක උනත්  සරල ඇත්ත.අපේ පංතියේ ගොඩක් උන් ඉගෙන ගන්න එක මගදි නවත්තනවා. එක්කෝ ආර්ථික ගැටළු නිසා.නැතිනම් තරග විභාග අසමත් නිසා.උන්ගේ අනාගතය අඳුරුයි.උන්ගේ විතරක් නෙමෙයි කැම්පස් ගිය උන්ගෙත් අනාගතේ අවිනිශ්චිතයි.සල්ලි නැත්නම් ජීවත්වෙන්න බැරි මේ සිස්ටම් එක ඇතුළේ ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්. නමුත් එහෙම කියලා උපදින්න ඉන්න අපේ පංතියේ උන්ට ඉගෙන ගන්න තියෙන අයිතිය නැති කරන්න ඉඩදීලා බලන් ඉන්න අපට බෑ.
අපි ඒ වෙනුවෙන් සටන් කරනවා.. ඔව් දිගටම සටන් කරනවා...!

“කරකේ, උඹ කියන විදියට මේ දුප්පත් පොඩිඋන්ට අකුරු උගන්නන්න ඕනේ නැතිනම් සෝවියට් ආණ්ඩුව වැඩිකල් පවතින්නේ නැතිවෙයි“
-දුයිෂෙයින්-
(ගුරු ගීතය - චිංගිස් අයිත්මාතව්)

අධ්‍යාපනය අයිතියක්.. එය වෙළඳභාණ්ඩයක් නොවේ..!




No comments:

Post a Comment