Sunday, November 1, 2015

යුගයක් එළිය කළ ප්‍රඥාලෝකයේ 'ආනන්දය'


1562 වසරේ එක්තරා දිනයක මුල්ලේරියා මහ සටන ජයගත් සිංහල සේනාව පරංගින්ගේ කොළඹ කොටුව විසුණු කිරීමට ඉදිරියට ඇදෙන්නට විය.බෙහෙවින් විඩාවට පත් සේනාවට කොළඹ කොටුවට ආසන්නයේ තැනෙක කඳවුරුලාගැනීමට සුදුසු බිමක් සෙවූ රාජසිංහ මහ රජු හට හදිසියේම මහා පුදුමයක් නෙත ගැටුණි. බොහෝ වේලාවක සිට සා පොව්වකු පසුපස පන්නා විත් වෙහෙසව සිටි සිවලකු නුදුරු තැනෙකදී එකවරම ආපසු හැරී දුවන්නට වූ අතර සා පොව්වා ජයග්‍රාහී ලෙස හිවලා පසුපස පන්නන්නට විය.මේ අරුමය පිළිබඳ නැකැත්කරුවන්ගෙන් විමසූ මහ රජු හට ලැබුනේ ආශ්වාදජනක පිළිතුරකි.‘මහරජුණි මෙතැන නියත වශයෙන්ම ජය බිමක්යැ.මෙහි වාඩි ලා උදෑසන පරංගි කොටුවට පහරදෙන සිංහල සේනාවෝ නියතවශයෙන්ම ජයගනිතැ යි‘ නැකැතියෝ රජුට පැවසීය.කඳවුරු බැඳිමට සුදුසුම බිමක් හමුවූ රජු මහත් වූ ප්‍රමෝදයෙන් තම සේනාවට මෙහි වාඩිලා ගැනීමට නියෝග කළහ. එතැන් පටන් මෙම ජය බිම‘පරණ වාඩිය‘ නමින් නම් ලද අතර වර්තමානයේ ‘ආනන්දය‘ නම් වූ හෙළයේ උත්තුංග තක්සලාව පිහිටා ඇත්තේ මෙහි ය.

කිතු වසින් 1873 මෙරට දී පැවැත්වූ පානදුරා වාදයේ විජයග්‍රාහී කිතුගොස ලෝ පතල වූයේ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මහ ස්ථවීරයන් වහන්සේ හට පිං සිදුවන්නට ය. මිෂනාරින්ගේ බලපෑම් වලටත් අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තු වලටත් පෑගී තැලී පොඩි වී සිටි ලාංකිකයන් හට පරබැමි බිඳලූ මානසිකත්වයක් ගොඩ නඟාගැනීමට පානදුරා වාදය හා පංචමහා වාදයන් වෙසෙසින් ඉවහල් විය. ධර්මපාලතුමාගේ විශිෂ්ඨ යුග මෙහෙවරත්, හික්කඩුවේ සිරි සුමංගල වැනි මහා යතිවරුන්ගේ මඟ පෙන්වීමත් එකළ සිංහල බෞද්ධයන්ට මහත් අස්වැසිල්ලක් විය. පානදුරාවාදයේ රාවය ලෝ පතල වීමේ ප්‍රතිඵලයක ලෙස ඇමරිකානු ජාතික විශ්‍රාමික හමුදා නිලධාරියකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇතුළු පිරිසක් මෙරටට පැමිණියේ බුදු දහමේ යතාර්ථය පිළිබඳ අවබෝධ කරගැනීමටය. බුදු දහම කෙරේ මහත් සේ පැහැදුණු ඕල්කට් තුමා දකුණේ එක්තරා විහාරස්ථානයකදී තිසරණගමනය කොට බුදුදහම වැළඳගත්තේය. එතැන් පටන් ධර්මපාලතුමන් හා එක්ව අධිරාජ්‍යවාදයෙන් පීඩාවට ලක්ව සිටි මෙරට සිංහල බෞද්ධ ජනයා ඉන් මුදවාලීම වෙනුවෙන් ඔහු කටයුතු කරන්නට විය. එකළ සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමි වූයේ මිෂනාරි අධ්‍යාපනය ලැබූවන්ට පමණි. පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සිංහල බෞද්ධයන්ට රජයේ රැකියා හිමි නොවුණි.රාජකීය,තෝමස්,ජෝසප්,පීටර්ස්,බෙනඩික්,වෙස්ලි,ජෝන්,මේරිස් වැනි මිෂනාරි පාඨශාලා බොහෝ ප්‍රදේශ වල පල්ලි කේන්ද්‍ර කරගනිමින් බිහි විය.බෞද්ධ දරුවන් හට රජයේ අධ්‍යාපනය ලැබීමේ වරම් හිමි නොවීය. මේ පිළබඳ සැලකිලිමත් වූ ඕල්කට්තුමා හා ධර්මපාලතුමා සිංහල බෞද්ධ දරුවන් හට අධ්‍යාපන ආයතනයක් පිහිටවිය යුතු බවට තීරණය කළෝය.ඒ අනුව 1886 නොවැම්බර් මස 01 දා කොළඹ පිටකොටුවේ මැලිබන් හරස් වීදියේ එක්තරා ස්ථානයක දී ‘බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව‘ පිහිටුවනු ලැබීය. පසුකාලීනව ආනන්දය ලෙස වඩා වර්ධනය වන්නේ මේ කුඩා අධ්‍යාපන ආයතනයයි.

මෙම විදුහලේ පළමු විදුහල්පතිවරයා වූයේ ලෙට් බීටර් මැතිඳුන්ය.එතුමා උපතින් බෞද්ධයකු නොවුනත් ඒ වන විට ‘පරචිත්ත විජානන ඥාණය‘ පවා උපදවාගෙන සිටි අධ්‍යාත්මිකව වඩාත් ශක්තිමත් බෞද්ධයකු විය. දරුවන්ගේ නාමලේඛණය සැකසීමේදී මුල්ම නම ලෙස සඳහන් වූ ‘ජිනරජදාස‘ යන නමෙහි යම් විශේෂත්වයක් දුටු මෙතුමා එම දරුවා කැඳවා මඳක් භාවනාවට සමවැදී තම ඥාණයෙන් දරුවාගේ අතීත භවය විපරම් කර බැලීය. මහත් පුදුමයකි. මේ තමා ඉදිරියේ සිටගෙන සිටින කුඩා දරුවා පෙර එක් භවයකදී බුදුරජාණන් වහන්සේගෙන් ඡත්ත මානවක ගාථා අසා දෙව්ලොව උපත ලද ඡත්ත මානවකයාව ඉපිද සිටි බවට බීටර් මැතිඳුන්ට වැටහුණි.මේ සිද්ධිය පදනම් කරගනිමින් එතැන් පටන් පාසැල නිමවී නිවෙස් බලා යන දරුවන් හට ‘ඡත්ත මානවක ගාථා‘ ගායනා කොට පාසලින් පිටවීමට නියම කරන ලදී. අද වනතුරු ඡත්ත මානවක පරපුරකින් පැවතෙන ආනන්දීය සිසු කැළ සිය පාසැලින් පිටව යන්නේ මෙම ගාථාත්‍රය ගැයීමෙන් අනතුරුවය. ආනන්දයේ ආභාෂය ලැබූ ලක්දිව බොහෝ පාසල් වල සිසු පිරිවරද මෙම ඡ්ත්ත මානවක ගාථා පාසැල නිමවී ගායනා කරනු ලබයි.

ක්‍රමයෙන් සිසු ගහනය වර්ධනය වත්ම පාසලට සුදුසු නව බිමිකඩක අවශ්‍යතාවය ඉස්මතුවිය.සතෙන් සතය එකතු කර හෝ පාසලට අවශ්‍ය නව බිමක් මිලට ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට සිංහල බෞද්ධ සිසු දරුවෝ ගෙයක් ගෙයක් පාසා ඇවිදින්නට විය.මේ බව සැළවුණු වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ නම් වූ සැදැහැති සිංහල බෞද්ධ දානපතියා මරදානේ පිහිටි තමාට අයත් වූ ‘පරණවාඩිය‘ නම් ජය භූමිය සිංහල බෞද්ධ පාඨශාලාව වෙනුවෙන් පරිත්‍යාග කළේය. මෙතැන පිහිටවූ නව විදුහලට යෙදිය යුතු නම කුමක්ද යන්න යෝජනා කිරීමේදී ධර්මපාලතුමන් විසින් ඊට ‘ගුණානන්ද‘ විදුහල යනුවෙන් නම් තබමු යැයි යෝජනා කළ අතර එය ප්‍රතික්ෂේප කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් තම නාමය වෙනුවට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන් ගේ නාමය සුදුසු යැයි යෝජනා කල අතර එය ස්ථිර විය. ඒ වන තුරු ඉංග්‍රීසි සිංහල  බෞද්ධ පාඨශාලාව ලෙස හැඳින් වූ  මෙම විදුහල එතැන් පටන් මෙරට සිංහළ බෞද්ධ අධ්‍යාපනයේ මුඳුන් මල්කඩ බඳු වූ ‘ආනන්ද මහා විදුහල‘ ලෙස නම් කෙරුණි.

ආනන්දය ක්‍රමයෙන් සුවිශාලවත්ම ස්වකීය සහෝදර පාසල් ජාලයක් ලක්දිව පුරා ව්‍යාප්ත කරන්නට විය. නාලන්දාව, ධර්මරාජය, මලියදේවය, රාහුලය හා මහින්දය ඒ අතර කීපයක් විය. ආන්නදයේ ආභාෂය ලැබ සිංහල බෞද්ධ දැරියන් වෙනුවෙන් මියුසියස්, විශාඛා, ආනන්ද බාලිකා, අනුලා හා දේවි බාලිකා වැනි කාන්තා පාසල් ද පසුකාලීනව බිහි විය. ආනන්දය නම් වූ මහා වෘක්ෂයේ පරිවාර ශාඛා වූ මේ පාසැල් අද ලක් ධරණි තලය තුළ විදග්ධ බුද්ධිමතුන් බිහි කරන්නා වූ මහා නැණ කෝෂඨාඝාරයන් වී හමාරය.

එවන් වූ සුවර්ණිත, අභිමානවත් අතීතයකට හිමිකම් කියන්නා වූ ආනන්දය මෙරට සිංහල බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙසටත් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම පාඨශාලාවන් අතුරින් ප්‍රමුඛස්ථානයේත්  මහා පහන්ටැඹක් ලෙස නැඟී සිටින්නේය.

 ආනන්දය ජයග්‍රහණයේ කෙම් බිමකි. එබැවින් මව්බිමේ කිතුගොස නැංවූ ක්‍රීඩකයින්ගේද.. මව්බිමේ ඉරණම රැකදුන් රණවිරුවන්ගේද.. මවිබිමේ අනුහස් පෙන්වූ මහා විදුනැණැතින්ගේද.. මව්බිම හෙබවූ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේද.. උපන් බිමට ණය නැති සුවහසක් අනඳ පුතුන්ගේද දිවි මඟට අත පොත් තැබූ ආනන්ද මාතාවෝ, ඕතොමෝ හට ණය ගැති වූ ලක්වාසී සැමගේ ගරු බුහුමන් ලැබ චිරාත් කාලයක් වැජඹෙන්නීය...!

චිරං ජයතු ආනන්ද මාතා..!

No comments:

Post a Comment