Sunday, November 15, 2015

ඇඩ්‍රස් නෑ...



කාලෙකට පස්සෙ හොඳ චිත්‍රපටියක් බැලුවා. ඔව්, ඇත්තටම හුඟ කාලෙකට පස්සේ. මේ වෙනකොට ලංකාවේ සිනමාව එක එක රැලි පස්සේ දුවලා හොඳටම හති වැටිලා ඉන්න‍ෙ. කාලයක් අපේ සිනමාව බොළඳ ආදර කතා පස්සේ දිවුවා. නිකං නෙමෙයි කෝටි ගණං වියදං කරගෙන.  ඊට පස්සේ විකට කතා රැල්ලක් ආවා. ඉස්කෝලේ ළමයි ටිකට පෙන්නන්න පුළුවන් හන්දා ළමා චිත්‍රපටි හැදුවා. මෑතක් වෙකොට නවත්තගන්න බැරි රජ කතා රැල්ලක් ගොඩනැඟුනා. ඒත් මේ එක රැල්ලකින් වත් ලංකාවේ චිත්‍රපටි කර්මාන්තයේ සාධනීය වර්ධනයක් උනේ නෑ. ප්‍රේක්ෂකයා එන්න එන්න චිත්‍රපටි වලින් ඈත් උනා. එ්කට එක හේතුවක් තමයි මේ සමාජ ක්‍රමයත් එක්ක චිත්‍රපටියක් බලන්න තරම් විවේකයක් මිනිස්සුන්ට නැති එක. ඒත් අඩුම තරමේ ෆිල්ම් හෝල් එක පිරෙන්න සෙනඟ ගෙන්න ගන්න මේ එක රැල්ලකටවත් බැරි උනා. අපේ රටේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි බිහි උනත් ඒවා වාණිජ පරමාර්ථයෙන් හැදුණ ඒවා නෙමෙයි. ඒ වගේ හොඳ චිත්‍රපටි බලන්න නම් චිත්‍රපටි සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්නම ඕනේ. මොනවා උනත් ජැක්සන් ඇන්තනී මහත්තයා මේ දෙපැත්තම දිනාගෙන තියනවා. හොල් එක පිරෙන්නම සෙනඟ නැති උනත් ‘ඇඩ්‍රස් නෑ‘ බලන්න මිනිස්සු ඇවිල්ලා හිටියා. චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු වල තිබුණ ආකර්ෂණීය නිර්මාණශීලී බවත් එ්කට එක හේතුවක් වෙන්න ඇති. මිනිස්සු ගොඩක් කුතුහලෙන් තමයි චිත්‍රපටිය බලන් ඇවිලා තිබුණේ. ඒ කුතුහලයේ පිපාසය නිවෙන්නට සීතල වතුර වීදුරුවක් පුරෝලම ජැක්සන් මහත්තයා දීලා තිබුණා.
වාණිජ වශයෙන් චිත්‍රපටිය සාර්ථකයි.ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. ‘ඇඩ්‍රස් නෑ‘ අළුත් කතා තේමාවක්. මේතාක් කාලෙකට කතා නොවුණු කතා තේමාවක්. මගේ මතකේ හැටියට ළමා චිත්‍රපටියක් උන ‘සමනළ තටු‘ චිත්‍රපටියේ තිබුණේ මීට සමාන තේමාවක්. නමුත් ‘ඇඩ්‍රස් නෑ‘ චිත්‍රපටිය ගොඩක් සංකීර්ණයි. සරල නෑ. ‘ඇඩ්‍රස් නෑ‘ පවුලේ කාටත් එකට ඉඳං බලන්න පුළුවන් චිත්‍රපටියක්. මොකද ඒකේ කතා වෙලා තියෙන තේමාව පොඩි උන්ට තේරෙන්නේ නැති නිසා පොඩි උන් බැලුවා කියලා අවුලක් නෑ. අනික ඒකේ ඇතැම් රූප රාමු, දෙබස් මේ සමාජයේ වැඩිහිටියන්ට හුරු පුරුදු උනාට පොඩි උන්ට තේරෙන්නේ නෑ. ඒ නිසා පොඩි එවුන් එක්ක බය නැතුව බලන්න පුළුවන්. හැබැයි පොඩි උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමන්ට පුළුවන්නම් විතරක් පොඩි උන් එක්ක ඇවිත් බැලුවට වරදක් නෑ. 

නාසි වත්තේ හිට්ලර් කියන්නේ කතාවේ ප්‍රධාන චරිතයක්. මිනිහා මහඋළුගෙදර ඉඳං එලියට එන තැනකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. හිට්ලර් මැරයා. මිනිහා කරන්නේ පොඩි පොඩි බිස්නස්. ඒවා කුඩු බිස්නස් වගේ ලොකු ඒවා නෙමෙයි. මිනිහගේ බිස්නස් එක තමයි හිඟාකෑම. හිඟාකෑම කිවුවට හිඟාකෑමට සැලැස්වීම. පොඩි දරුවෝ, අබාධිතයෝ,පික් පොකට් කාරයෝ, වීදි නාට්‍යකාරයෝ, සර්කස්කාරයෝ,ෂැන්ඩෝ කාරයෝ මේ වගේ උදවිය තමයි මිනිහගේ ගෝලයෝ. ගුබ්බෑයමේ ගෝරිං කියන්නේ හිට්ලර්ගේ දෙවැනියා. කසිකබල් පරණ ඩෙලිකා වෑන් එකක උදේ පාන්දරම කට්ටිය පටවගෙන ගිහින් තැන් තැන් වල බස්සන ගෝරිං, ආයෙමත් හවසට ඒ අයව එකතු කරගෙන ඇවිදින් කට්ටියම එදා හිඟාකාලා හම්බකරගත්ත  සම්තිං එක හිට්ලර්ට බේරනවා. මේක තමයි වැඩපිළිවෙල. ඔය අතරේ නාසි වත්තේ ඉන්න තවත් චරිතයක් තමයි සන්ධ්‍යා අක්කා. සන්ධ්‍යා අක්කා ගාව කෙල්ලෝ තුන්දෙනෙක් වැඩකරනවා. වැඩ කරනවා කිවුවට ගාමන්ට් එකක් නෙමෙයි. සන්ධ්‍යා අක්කගේ බිස්නස් එක තමයි ගණිකා වෘත්තිය. හිට්ලර්ට ඕනේ උනාම යන්නෙත් සන්ධ්‍යා අක්කා ගාවට. ඒත් කවුරු මොනවා කළත් අන්තිමේදි හිට්ලර්ගේ පංගුව හිට්ලර්ට ලැබෙන්න ඕනේ.  සද්ගුණවත් පිංසාර කියන්නේ හොඳ සල්ලිකාරයෙක්. ඒ වගේම ලොකු බිස්නස්කාරයෙක්. මිනිහාගේ බිස්නස් එක තමයි ආබාධිතයන්ට අදාල වෙන උපකරණ හදන එක. මිනිහා අබ්බගාත දුප්පත් පොඩි එකෙකුට නොමිලේම ගැලපෙන බොරු කකුල් දෙකක් හදලා දෙනවා.ඒ තරමටම පින්සාර සද්ගුණවත් කෙනෙක්.නමුත් පින්සාර කියන්නේ හිට්ලර්ට කොන්ත්‍රාත් දෙන අතරමැදියෙක් කියලා තේරෙන්නේ චිත්‍රපටිය ටික වෙලාවක් බලද්දී. සමාජයේ ඉන්න ලොකු ලොකු මිනිස්සුන්ගෙ එක එක කොන්ත්‍රාත් ලැබෙන්නේ පින්සාරට. පින්සාර ඒව දෙන්නේ හිට්ලර්ට. හිට්ලර් වැඩේ කරාම තමන්ට ලැබුණ ගාණින් ටිකක් හිට්ලර්ට දෙන්න පිංසාර අමතක කරන්නේ නෑ. ඔහොම ලැබෙන්නේ නිකම්ම නිකං කොන්ත්‍රාත් නෙමෙයි. මිනීමැරුම් වගේ ඒවා. දවසක් ගෝරිං ලව්වා පිංසාරගේ කොන්ත්‍රාත් එකක් කරවගන්න හිට්ලර් ටික කාලෙකට ගෝරිංව ඇඹිලිිපිටියට යවනවා. ඇඹිලිපිටියේ මුදලාලි කෙනෙක් ඒ වෙනුවට ඇඹිලිපිටියේ කරා ව හිට්ලර්ට එවනවා. එදා ඉඳං ගෝරිංගේ තනතුර ලැබෙන්නේ කරාට. කරා ටිකක් වෙනස්. ගෝරිං වගේ නෙමෙයි. නාහෙට අහන්නේ නෑ. නමුත් වැඩේ හරියට කරනවා. හිට්ලර් යටතේ වැඩ කරන එක ගෝලයෙක් තමයි චැප්ලින්. චැප්ලින් ගොලුයි. චැප්ලින් කරන්නේ වීදි නාට්‍ය. චැප්ලින්ට ඉන්නවා දුවෙක්. චැප්ලින් ඒ දරුවගේ ඇත්තම තාත්තා නෙමෙයි. නමුත් ඒ බව චැප්ලින් තමන්ගේ දුවට හඟවන්නේ නෑ.  දුව හිතං ඉන්නේ තාත්තා මඩකලපුවේ කඩයක් කරනවා කියලා. චැප්ලින්ගේ දුව නීතිය ඉගෙන ගන්නවා. චැප්ලින්ගේ දුවට ආදරය කරන්නේ පින්සාරගේ පුතා. මිනිහා නීති ශිෂ්‍යයෙක්. මේ නීති ශිෂ්‍ය කණ්ඩායම මාවත් දරුවන්, පැල්පත්වාසින්, ගණිකාවන් වගේ සමාජයේ පහළම ස්ථරයේ ඉන්න උදවිය ගැන රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක එකතු වෙලා අධ්‍යයනය කරනවා. ඔය අතරේ පින්සාරට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා ඇමති තුමාගෙන්. ඇමතිතුමාගෙ පුතා එක්ක යාළු වෙලා ඉන්න පොහොසත් කෙල්ලෙක්ව ඉවර කරන්න කියලා. පින්සාර මේ කොන්ත්‍රාත්තුව භාරකරනවා හිට්ලර්ට. හිට්ලර් වැඩේ පවරන්නේ ඇඹිලිපිටියේ කරා ට. කොහොමහරි කරා අතින් වැඩේ ගැස්සෙනවා. අන්තිමේදි  හිට්ලර්, සන්ධ්‍යා මේ හැමෝම පොලීසියට කොටුවෙනවා. ඔය අතරෙදි මේතාක් කාලෙකට සුදු පිරුවටය දවටගෙන හිටපු පින්සාරගේ නිරුවතත් එළිවෙනවා. මෙහෙම කියන්න ගියොත් මං මුළු චිත්‍රපටියම කියෙව්වා වෙනවා. ඒ වැඩේ කරන්න බෑ. ගිහිල්ලම බලන්න.

ජැක්සන්,කමල්,සබීතා,මහේන්ද්‍ර,දර්ශන්,රොෂාන් වගේ අති දක්ෂ ප්‍රවීණයෝ එක්ක නවකයන් රැසක් තමන්ගේ රංගනයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා.සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්. ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ගායනයෙන් දායක වෙන්නේ ගයාන්,නෙළු සහ ශෂිකා. 

‘ඇඩ්‍රස් නෑ‘ කියන්නේ සමාජයේ හරස්කඩක් ගත්තොත් ඒකේ පහළම ස්ථරයේ ජීවත්වෙන පීඩිතම මිනිසුන් කොටසක් ගැන කියවෙන කතා තේමාවක් වටා ගොඩනැඟුණු චිත්‍රපටියක්. ඒ නිසා මේක මේතාක් කාලෙකට අපේ රටේ චිත්‍රපටියක් තුල කතා නොවුණු මාතෘකාවක්. ඇත්තටම ඇඩ්‍රස් නැති සමාජ පංතියක් ගැන කියවෙන කතාවක්. ඇඩ්‍රස් නැති වුණ ලාංකික සිනමාවට ඇඩ්‍රස් දෙන්න ගත්ත උත්සහයක්. බලන්න. 
“මේ බජාර් එකට අහසත් නෑ.. පොළවත් නෑ.. ඇඩ්‍රස් නෑ“ 


ඇඩ්‍රස් නෑ හැදුණු හැටි, රූගත කිරීම් අතරතුර...


ඇඩ්‍රස් නෑ...

ගායනය - ගයාන් පෙරේරා
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ




1 comment:

  1. චිත්‍රපටිය තාම බලන්න බැරි වුන නිසා මුකුත් කියන්න අමාරුයි, හැබැයි මම දැකපු අපූරුම සුසංයෝගයක් තමයි ගායනය - ගයාන්, මහදුරු සුනිල් සහ ආචාර්ය රෝහණ කියන්නේ.. සින්දුවේ පද මාලාව සහ සංගීතයේ නව ආර ඒ අපූරු සුසංයෝගය ගැන මට මහ පුදුම සතුටක් ගෙනාවා.

    ReplyDelete