1987 ජුනි
මාසයේ එක්තරා දිනයක හීංදෙණියම අඳුරු කරමින් කබරගල කඳු වළල්ලෙන් පහලට ඉර ගල ගිලෙන්නට
විය. මළහිරු බැසයමින් සිටියේ මරණයේ අන්ධකාරය හාත්පස තවරමිනි. මුළු රටම කාලකණ්නි
මූසල බවක් තුරුලුකරගෙන සිටි කාලයකි.
“අනේ සර්
ගහන්න එපා. මං කළේ.... නෑ“
සාමෙල් ගේ වම්පස ඉල ඇට වලට එල්ල වූ පා පහර දරාගත
නොහැකිව ඔහු බිම ඇද වැටුනේය.
“ගහන්න එපා
බුදු සර්... මං වරදක් කරලා නෑ“
ඔහු නැවතත්
හඬමින් පැවසුවේ පැය ගණනක සිට තමන්ට පහර දෙන හමුදා නිලධාරියගේ දෑස දෙස බලමින්,
බැගෑපත්වය.
“ඈ බොල
බැල්ලිගේ පුතෝ... තෝ හිතුවද අපි ඔටුවෝ කියලා.. ගෝනි බිල්ලා ඔළුව වැනුවේ තෝ දිහා
බලලා තමයි කියලා අපි හොඳට දැක්කා.. දැං ඉතිං කියපිය, සමූපකාර බිත්තියේ ‘අහවල් එක
නැත්තං මරණය‘ කියලා ලිවුවේ තෝ නේද...? පරයා“
බූට්
සපත්තුවකින් වැටී සිටි සාමෙල් ගේ බඩට නැවතත් පා පහරක් එල්ල වූ අතර එවර ඔහුගේ කටින්
කැස්සත් සමඟ ලේ පිටවිය.
**************
සාමෙල් උදේ පාන්
රොඩ්ඩක් ගිලමින් සිටියදී දින දෙකකට පෙර හමුදා ජීප් රියකින් පැමිණි පිරිසක් ඔහුව
රැගෙන ගියේ හවසට ආපසු එවනවා යැයි ගෙදර අයට පවසමිනි.මෙතෙක් කාලෙකට ගමෙන් ඔහොම ගිය
එකෙක් වත් පණපිටින් ගෙදර ආවේ නැති බව දැන හුන් සාමෙල්ගේ මව වැළහින්නියක මෙන්
හඬන්නට වූවාය. ජීප් රියට ගොඩවූ වහාම කිටි කිටියේම රෙදි කඩකින් දෑස බැඳ දැමූ හෙයින්
තමන්ගේ ගමනාන්තයේ දිශාව පිළිබඳ හරි හැටි තේරුමක් සාමෙල්ට නොවීය. තවත් කිහිප දෙනෙකු
තමන් මෙන්ම ජීප් රිය තුළ රැගෙන යන බව පමණක් ඔහුට වැටහුණි.වාහනය නැවැත්වූ පසු සීතල සිමෙන්ති පොළවක් මතට තමන් තල්ලුකර දමනවා ඔහුට
දැනුනි. දෑස් ලෙහා දැමූ සාමෙල් ඇතුළු පිරිස අඳුරු කොරිඩෝවක් දිගේ මලානික ආලෝකයක්
පැතිරුණු කුඩා ශාලාවකට රැගෙන යන්නට විය. ටී 56 ගිනි අවි රැගත් හමුදාවේ යැයි සිතිය
හැකි උස මහත කීප දෙනෙකු දෑස පමණක් පෙනෙන සේ හිල් විද තිබූ ගෝනියකින් මූණ වසා තිබූ
අයකු සමඟ එම කාමරයේ විය. කඩමන්ඩියේ කතා වූ ගෝනි බිල්ලා සැබෑ ලෙසම සාමෙල් දැක්කේ
එදාය.
අවි ගත්
පුද්ගලයෝ සාමෙල් ඇතුළු පිරිස තනි පෙලකට පෝලිම් කරවීය.තමා සමඟ ගමේ ඉස්කෝලේ ඉගෙන ගෙන
කැම්පස් තේරුනු සමන්තත් එතැන සිටි බව සාමෙල් දුටුවේ එවිටය.සමන්ත, සාමෙල්ගේ හොඳ
මිතුරෙකි.සමන්තගේ පියා සාමෙල්ගේ පියා වැඩ කළ ගල් වලේ ලියන මහත්තයා ලෙස කටයුතු කළා
සාමෙල්ට මතකය.එහෙත් දැන් ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නැත.සාමෙල්ට අවසාන වතාවට
සමන්තව මුණගැහුණේ ඊයේ හවස කඩමන්ඩියේදී ය.කලබල නිසා කැම්පස් වැසූ බවක් සමන්ත තමා
සමඟ පැවසූ බව යන්තමින් වගේ සාමෙල්ට මතකය. එදයින් පස්සේ සාමෙල්ට සමන්ත මුණගැසුනේ
අදය.
“කියපිය බලන්න
මොක්කුද මුන්ගේන් චේ ගුවේරා කාරයෝ“
එතැන සිටි
අයකු ගොරහැඩි අයුරින් ගෝනි බිල්ලාගෙන් විමසන්නට විය.වඩාත් සුපරික්ෂාකාරී ලෙස පෝලිමේ
සිටි සිල්ලෝම දෙස බැලූ ගෝනි බිල්ලා සාමෙල් හා සමන්තත් තවත් අයකු දෙසත් බලා හිස
වැනුවේය.
ක්ෂණිකවම පිටුපසින්
තමන්ගේ හිසට කුවක්කු බඳකින් පහරක් වැදෙනු පමණක් සාමෙල්ට මතකය.නැවත සිහිය ආවේ මූණට
වැදුනු තද වතුර පහරක් සමඟය.දෙකකුල් හා දෙඅත් බැඳ දමා තිබෙනු සාමෙල්ට දැනුනි.
“දැං ඉතිං
වමාරපිය ඔක්කොම“
මූණට එබුණු
අයකු සාමෙල්ගේ මඳක් දිගට වැවුණු හිසකෙස් වලින් දැඩිව අල්ලා ප්‍රශ්නකරන්නට
විය.සාමෙල්ට මෙලෝ හසරක් තේරෙන්නේ නැත.තනිකඩයකු වූ සාමෙල්ට සිහි වුයේ තම මහළු මව
පමණි.තමන් නොදන්නා දෙයක් ගැන තමන් පවසන්නේ කුමක්ද යන්න සාමෙල්ට ගැටලුවකි.තමා දැන්
සිටින්නේ මරණය අබිමුව යැයි සාමෙල්ට වැටහන්නට
විය.
“කියපිය
හු.... කවුද තව ගමේ ඉන්න චේ ගුවේරා කාරයෝ..? තොපේ ආයුධ හංගල තියෙන්නේ කොහෙද..?“
“මං චේගුරෙක්
නෙමෙයි සර්.. මං දන්න දෙයක් නෑ“ සාමෙල්ට කියන්න ලැබුනේ එපමණකි. රබර් හෝස් එකක්
ඇදගත් හමුදා නිලධාරියා හති වැටෙන තුරු සාමෙල්ට පහර දී කුටියෙන් පිටව ගියේය.
රාත්‍රියේ දී
දැනුන කායික වේදනාව පරයා දුක මසු මරණ බයකින් සාමෙල්ගේ මුළු සිරුරම කකියන්නට
විය.යාබද කාමරයකින් හුරු පුරුදු කටහඬක් සාමෙල්ට ඇසුනේ ඒ මොහොතේදී ය.
“මැරුවත්
කියන් නෑ... යකෝ... අපි සටන පාවා දෙන ජාතියේ බල්ලෝ නෙමෙයි“
පොලු පහර
කීපයක් සමඟ කුණුහරුපයෙන් කෑ ගසනවා සාමෙල්ට ඇසුණි.
“තොපි හිතන්නේ
මාව මැරුවයි කියලා මේ අරගලය නවතියි කියලද..? මාව අද මරපිය.. මරලා බලපියව් හෙට උදේට
තොපේ මහ උන් දිනලද කියලා“
එවර කොකු
තරාදියක එල්ලා තිබුණු වී ගෝනියක් බිම ඇද දමනවාට සමාන ඒත් ඊට මඳක් වැඩි හඬක්
සාමෙල්ට ඇසුණි.
“ආ..හ්...“
යමෙක් උසක සිට
පහලට වැටුනා හෝ ඇද දැමුවා විය යුතුය. ඒ කෑ ගැසුවේ කවුද..? සාමෙල්ට, සමන්තව සිහි
විය. ‘ඔව් .. ඒ සමන්තගේ කටහඬ තමා’. සාමෙල් තමන්ටම මුමුණාගත්තේය. එදා රෑ පුරාවටම
සමන්තට පහර දෙනු සාමෙල්ට ඇසුණි.
උදේ එලිය
වැටෙන්නට ඔන්න මෙන්න තියා සාමෙල්ට නිඳිමතක් ආවද සිය කුටියේ දොර අරිනු හඬ ඇසී එය පහව
ගියේය.
“තෝ
නිදිද වේ.. .. පුතෝ, නැගිටපිය බල්ලා“ බූට්
සපත්තුවකින් පා පහරක් සාමෙල්ගේ කකුලකට වැදුණි.
“තොගෙන් අද
ලොකු දෙයක් අහන්නේ නෑ.. තෝ ඊයේ මොකුත් දන්නෑ කිවුවනේ.. අද එහෙනං කියපිය සමූපකාරේ
බිත්තියේ අර උඹලගේ ගාථාව ලිවුවේ කවුද කියලා“
“මොන
ගාථාවද..? සර්“ සාමෙල් වේවලන හඬින් ඇසීය
“ තෝ ඒක දන්නෑ
... හිටපිය මං මතක් කරන්න“ එවර ඔහුගේ ශරීරය සිප ගත්තේ හමුදා නිලධාරියා අත තිබූ
කිතුල් පොල්ලයි.
“අනේ සර් මං
දන්න ගාථාවක් නෑ.. මං මොකුත් ලිව්වේ නෑ සර්... මට ගහන්න එපා“ සාමෙල් මොර දෙන්නට
විය.
“ඈ බොල...
සමූපකාර බිත්තියේ ‘මව්බිම නැතිනම් මරණය‘ කියලා ලිවුවේ මන් ද? යකෝ එහෙනං“
නිලධාරියාගේ රකුසු ඇස් වලින් ගිනි පුපුරන්නට විය.
“අනේ සර් මං
දන්නෑ සර්.. මං ලිවුවේ නෑ“
හුස්මකට හෝ
පහර දීම අතපසු නොකළ නිලධාරියා සාමෙල්ට දිගින් දිගටම පහර දෙන්නට විය.
“තොගේ යාළුවා
අපිට ඊයේ රෑ මහලොකු පාට් එකක් දැම්මා.. තෝ අද කියනවා තෝත් මොකුත් දන්නෑ කියලා..
හිටපියව් අද රෑ තොපිට වෙන දේ මොකද්ද බලාපියව්“
තමා අවසාන වරට
සමූපකාරයට ගියේ පෙරේදාය. ඒ ගෙදරට ඕනෑ වූ භූමිතෙල් ගැනීමට බව සාමෙල්ට මතකය.මේ කියන අපභ්‍රංශ එකක් වත්
සාමෙල්ට වැටහෙන්නේ නැත.එහෙත් තමා අද රෑ වන විට මිය යායුත්තකු බව පමණක් සාමෙල්ට
වැටහෙන්නට විය.
**************
පසුදින උදෑසන
වන විට හීංදෙණියේ කනත්ත අසල බාගෙට
පිච්චෙමින් තිබුණු මිනී දෙකක් ටයර් කීපයක් මත වැටී දුම් දමමින් තිබුණි. ඒ අසල වූ
රිටක ‘මව්බිමට ද්‍රෝහි වූවන්ගේ ඉරණම‘ යනුවෙන් ලියවුණු දැන්වීමක් එල්ලෙන්නට
විය.පඳුරක් පාමුල ටී 56 උණ්ඩ කොපු දෙකක් වැටී තිබෙනවා කිසිවකුගේ නෙත ගැටුනේ නැත.
වෙනදා මෙන්
එකා දෙන්නා හීංදෙණිය සමූපකාරයට ගොඩ වෙන්නට පටන් ගත්තේය.ඊයේ ඉන්දියාවෙන් යාපනේට
පරිප්පු දැමූ ආරංචිය පිළිබඳ කඩමණ්ඩියේ
කීප දෙනෙකු කතාකරන්නට විය.
“අපි මේ
ගිවිසුම ඉන්දියාව එක්ක අත්සන් කරන්න තීරණය කළේ මේ රටේ පවතින ත්‍රස්තවාදී අරගලය නිමා
කොරාන්ට අරමුණු කරගෙනයි....“ සමූපකාරයේ
රේඩියෝවෙන් ජනාධිපති තුමා ජාතිය අමතනවා ඇසෙන්නට විය.
සමූපකාර
බිත්තියේ ‘මව්බිම නැත්නම් - මරණය‘ යනුවෙන් ලියැවුණු රතු අකුරු වලට මඳක් පහළින්
තවමත් වේළුණු නැති ලැකර් වලින් ‘ඉන්දීය වඳුරු හමුදාව පන්නමු - ජේ.ආර් මරමු‘
යනුවෙන් අලුතෙන් ලියැවී තිබුණි.
No comments:
Post a Comment