1942 මැයි 29 මාදුළුවාවේ ග්‍රාමයේ විසූ පතිරගේ දොන් අප්පුහාමි ගොවි මහතාට දාව කරලිනාහාමි මෑණියන්ට උපන් පී.ඩී රත්නසේකර කුල කුමරුවන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාදුළුවාවේ රජයේ පාසලෙනි. 1955 මැයි 09 දා උතුම් පැවිදි දිවියට ඇතුළත් ව මාදුළුවාවේ සෝභිත නමින් ස්වකීය යුග මෙහෙවර ආරම්භ කළ උන් වහන්සේ විද්‍යා්දය හා විද්‍යාලංකාර යන පිරිවෙණ්හි අධ්‍යාපනය ලබමින් සිට 1963 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් (අද කැළණිය සරසවිය) ඉතිහාසය සඳහා ගෞරව පංති සාමාර්ථයක් සහිතව ස්වකීය ප්‍රථම උපාධිය ලබා ගත්හ. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේදී වඩාත් සටන්කාමී ශිෂ්‍ය නායකයකුව කටයුතු කළ උන් වහන්සේ විද්‍යාලංකාරයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයේද කටයුතු කළහ.
සිංහල බලමණ්ඩලය පිහිටුවමින් දේශප්‍රේමී බලමුළු රාශිගත කළ උන් වහන්සේ 1982 වසරේදී එහි සභාපති ධූරයට පත් වූහ.1987 වසරේදී එවකට පැවති රජය මඟින් ලොව ප්‍රථම වරට මැයි දිනය තහනම් කර තිබුණු අවස්ථාවේදී ‘මව්බිම සුරකිමු‘ යන මැයෙන් මැයි දිනයක් ස්වකීය විහරස්ථානයේදී එනම් කෝට්ටේ නාග විහාරයේදී සංවිධානය කිරීමට තරම් උන් වහන්සේ අභීත වූහ.
“1987 මැයි 01 දා කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ මැයි දිනය
සෝභිත හිමියන් විසින් ඇමතූ අයුරු.“
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හඳුන්වාදුන් අනර්ථකාරී දේශපාලනික සංඝඨකයන් වලට ස්වකීය දැඩි විරෝධය එල්ල කළ උන්වහන්සේ ‘විධායක ජනාධිපතිධූරය අහෝසි කරනු‘ යන සටන් පාඨය පෙරමුණට ගත් ආරම්භක කථිකයකු වූහ. එමෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝදනයටත්, ඉන්දු ලංකා ගිවිසුමටත් විරුද්ධව දැවැන්ත පා ගමන් සහ සත්‍යග්‍රහ පැවැත්වූ සෝභිත හිමියෝ පැවති රජයේ මර්ධනකාරී වැඩපිළිවෙලට අභීත ලෙස මුහුණ දුන්හ.අවස්ථා ගණනාවකදී පැවති රජයන්ගේ මර්ධනයන්ට, අපහාසයන්ට මෙන්ම පහරදීම් වලට පවා මුහුණදුන් උන්වහන්සේ, සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක ලෙස ඒ සෑම දෙයක්ම උපේක්ෂාවෙන් විඳදරාගත්හ.
යුධ සමයේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදි වීරෝධාර සෙබළ බලමුළු දිරි ගැන්වීමට සෝභිත හිමියෝ කිහිප විටෙකදීම උතුරට වැඩම කළහ. ජාතිවාදය මෙන්ම ආගම්වාදය ද දැඩිලෙස පිළිකුල් කළ උන්වහන්සේ ඒක්සත් ජාතියක් ගොඩනැඟීමේ සිහිනය දුටුවෝය. ඒකාධිපති පාලකයන්ට වහකදුරු මෙන් තිත්ත චරිතයක් වූවද මෙරට හඬක් නැති ජනයාට මහා පෞර්ෂ්‍යයක් වූ සෝභිත හිමියෝ සෑම විටම ස්වකීය මව්භූමිය වෙනුවෙන්ම පෙනී සිටියහ.
දේශීයව මෙන්ම විදේශීයව ද ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරතවූ උන්වහන්සේ බුදුසසුන බැබලවීමට මහත් උනන්දුවෙන් කටයුතු කළ යතිවරයාණන් වහන්සේ නමක් වූහ.
මෑත කාලීනව යහපාලනයක් ගොඩ නැංවීමට ‘සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය‘ බිහි කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කරලීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය මේ රට තුළ ස්ථාපිත කිරීමටත් රජයට බල කරමින් මහා බලපෙරළියකට උන් වහන්සේ නායකත්වය සැපයූහ.
සාධාරණ සමාජයක් උදෙසා සෝභිත හිමියෝ ඇපකැප වී ක්‍රියා කළෝය. |
ස්වකීය චතුර වාග් විලාශයත්, විශිෂ්ඨ ලේඛණ ශෛලියත් තම එකම අවි බවට පත් කරගත් සෝභිත හිමියෝ අවිහිංසාවාදී අරගලයන් තුළින් මව්බිමේ යුතුකම ඉටුකරලීමට නායකත්වය සැපයූහ. හඬක් නැති මිනිසුන්ට හඬක් දෙමින්, සිහ රජෙකු මෙන් අභීත වෙමින්, ජාතියේ මහා වගකීමක් තම උර මත පටවාගනිමින් සාධාරණ, යුක්තිසහගත හා සදාචාරාත්මක සමාජයක් ගොඩනැංවීමටත් සමගි සම්පන්න එකමුතු ජාතියක් නිර්මාණය කිරීමටත් සෝභිත හිමියෝ මහත් වෙහෙසක් දැරූහ.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල්පේච්ඡ වූ, සෘජුපඨිපන්න වූ සෝභිත හිමියෝ කුඩහපොළ හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි මහා යතිවර පරපුරකින් උරුම වූ සටන්කාමීත්වයත්; රාහුල, ආනන්ද මෛත්‍රීය වැනි පඬිවර පරපුරක මහා පාණ්ඩිත්‍යයත් තමන් වහන්සෙට උරුමව පවතින බව දැන, දේශයේ මහඟු උන්නතිය වෙනුවෙන් තම ජීවිතයම කැප කළෝය.
දැන් ඒ මහා පඬීවරයාණන්ගේ පාණ්ඩිත්‍යයත්, ඒ අභීත සටන්කාමියාගේ සටන්කාමීත්වයත්, යතිවරයකුගේ අනුකම්පාවත් ජාතියකට අහිමි වී ඇත.
සෝභිත හිමියනි, ඔබ වහන්සේගේ සටන අවසන්ය. නමුත් අපගේ සටන අවසන් නැත. ඔබ වහන්සේ පැතූ සාධාරණ සමාජය අපි කෙසේ හෝ ගොඩනඟන්නෙමු. නිවන් දකින්නට මත්තෙන් යළිත් වඩිනු මැන. ඒ ගොඩනැඟි සාධාරණ සමාජය දෙස බලා සතුටු වනු මැන.
සසුනඹර පාළුය.. දේශය අඳුරුය.. නිමල පහන නිවීගොස් ඇත.
No comments:
Post a Comment